Language Switcher

V2025

අගමැතිට එරෙහි විශ්වාසභංගය අඟහරුවාදා කතානායකට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව එළඹෙන අඟහරුවාදා කතානායකවරයා වෙත ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

ඊයේ (04) කඩුවෙල පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ අගමැතිවරයා රැක ගැනීම සදහා අත් ඔසවන මන්ත‍්‍රිවරුන් සදහා එක් අයෙකුට ලක්‍ෂ 350 බැගින් ලංසු තබා ඇති බවය.

මාර්තු 7න් පසුව පාර්ලිමේන්තුවේ වෙනසක්

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එළඹෙන මාර්තු 7 වනදායින් පසුව පාර්ලිමේන්තුවේ පෙරළි රැසක් සිදුවීමට නියමිත බවත් එහිදී සැබෑ ජනබලය පාර්ලිමේන්තුව තුළ ඔප්පු කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සුදානමින් සිටින බවත්ය.

අගමැතිට මොකුත් කරන්න කාටවත් බෑ- අමාත්‍ය වජිර

කෙසේ වුවත් ගාල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බවය. ඒ පිළිබඳ කතා කරන බොහෝ දෙනෙකුට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අමතකවී ඇති බවත් ඊට අනුව ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයක් මිස අග්‍රාමාත්‍යවරයාට පමණක් සීමා කළ විශ්වාසභංගයක් ගෙන ඒමට නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම ආණ්ඩුව කිසිවෙකුටවත් පෙරළිය නොහැකි බවත් 2020 වනතුරු පමණක් නොව 2025 දක්වාද රට පාලනය කිරීමට තරම් ආණ්ඩුව ශක්තිමත් බවද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.