අධිකරණ නියෝග නොතකා : පොල්තෙල් බවුසර් රේගුවට යවලා !

අධිකරණ නියෝග නොතකා : පොල්තෙල් බවුසර් රේගුවට යවලා !

පිළිකාකාරක අඩංගු බවට සැක පොල්තෙල් බවුසර් දෙක මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග නොතකමින් රේගුවට භාර දීම පිළිබඳ මාරවිල මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා දංකොටුව පොලිසියට ඊයේ (31) දැඩි ලෙස අවවාද කළේය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට වහාම කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළේය.

පසුගිය 29 වැනි දින රාත්‍රියේ දංකොටුව පොලිසිය මඟින් පොල්තෙල් සහිත මේ බවුසර් දෙක අත්අඩංගුවට ගෙන තිබුණු අතර මේ සම්බන්ධයෙන් 30 වැනිදා මාරවිල මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ බවුසර් අධිකරණ භාරයේ රඳවා තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසයි. පොලිසිය එම නියෝග නොතකමින් පොලිස් ආරක්ෂාව මැද මේ බවුසර් දෙක රේගුවට බාර දීමට පියවර ගෙන තිබිණි.

ඊයේ (31) පස්වරුවේ මේ නඩුව මාරවිල අධිකරණයේ නැවත කැඳවූ අවස්ථාවේ මාරවිල මහේස්ත්‍රාත්වරයා මෙසේ පොලිසියට අවවාද කළේය.

මේ බවුසර් දෙකේ රස පරීක්ෂණ වාර්තා ගැනීමට කටයුතු කළේද යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසා සිටි අතර “නැත ස්වාමිනි. පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් පරිදි බවුසර් දෙක පොලිස් ආරක්ෂාව සහිතව ශ්‍රී ලංකා රේගුවට භාර දුන්නා“ යැයි ස්ථානාධිපතිවරයා පිළිතුරු දුන්නේය. “පොලිසිය කරන්නේ අධිකරණයේ නියෝග ක්‍රියාත්මක කිරීමද නැත්නම් පොලිස් නීති කොට්ඨාසයේ නියෝග ක්‍රියාත්මක කිරීමද“ යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ හෙතෙම නිහඬව සිටියේය.

මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගත්තේ දැයි මහේස්ත්‍රාත්වරයා අසා සිටි විට නැත ස්වාමීනි. යනුවෙන් පිළිතුරු දුන් ස්ථානාධිපතිවරයා, “රේගුවට ආරක්ෂා කර ගන්න බැරි වුණ දේ ආයේ රේගුවට දීලා වැඩක් තියනවද. මේක තීරණයක් ගන්න තිබුණේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවලා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් දිය යුතුයි “මහේස්ත්‍රාත්වරයා කියා සිටි අතර ඒ අනුව ස්ථානාධිපතිවරයා ප්‍රකාශයක් දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න