අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට මේ වසරේ අවස්ථාව ලැබුණා - ජනපති

අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට මේ වසරේ අවස්ථාව ලැබුණා - ජනපති

පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවැති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළ ද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කියා සිටී.

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායක් බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ.

ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩදුරටත් මෙසේ සඳහන් වේ.

අලුත් අවුරුදු උදාව දෙස මහත් උද්යෝගයෙන් බලා සිටින කුඩා දූ දරුවන්ගේ සේම සියලු රටවැසියන්ගේ ද අපේක්ෂා සැබෑවීමකි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික මහා මංගල්‍යයයි. රටවැසියන් එකම නැකතකට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් ලැබුවා වූ වසරේ සෞභාග්‍යය උදාවනු ඇතැයි අප සිත් සතන්හි බලවත් විශ්වාසයක් පැලපදියම්ව තිබේ.

කුඩා දරු දැරියන් උද්දාමයට පත් කරන අලුත් අවුරුදු ඇඳුම්, ආහාර පාන සහ කෙළි සෙල්ලම් දෙස බලා සිටින වැඩිහිටියන් භුක්තිවිඳින්නේ අප්‍රමාණ සතුටකි. එසේම පරිසරයේ ඇතිවන සොඳුරු වෙනස්කම් අපට කායික මානසික සැනසීම ගෙන දෙයි.

සංකීර්ණ සිතුවිලි සමග ජීවන අරගලයක නිරත වැඩිහිටියන් ඔවුනොවුන් අතර නොහොඳ නෝක්කාඩු සමනය කර ගැනීම ද අවුරුදු සමයේ විශිෂ්ට ලක්ෂණයකි.

සමස්ත ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම මගේ අපේක්ෂාවයි. අලුත් අවුරුදු සමයේ දූ දරුවන්ගෙන් ඈත්ව රාජකාරියෙහි නිරත හා විදෙස්ගත සැම, කරන කැප කිරීම ද මම ගෞරවයෙන් සිහිපත් කරමි.

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, මනා සෞඛ්‍යය සහ සතුට සපිරි සුබ අවුරුද්දක් වේවා!

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න