පොල්තෙල් වැනි මෙරට ආනයනය කරනු ලබන ආහාර වර්ග ඇතුළු ආහාරවල හානිකර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් එබැවින් ආහාරවල ඇති හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වහා කටයුතු කරන ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ආහාර පරීක්ෂාව සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කළ යුතු අතර ආහාර සුරක්ෂිතතාවය ට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවද රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින තත්ත්වය උග්‍රවී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී පෙන්වා දුන්නේය.
රටේ අහාර සුරක්ෂිතතාව වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලු රැසක් උද්ගතව පවතින බව 2017/2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය.
මෙරටට ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය වූ අතර, ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ආහාර සඳහා බලාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති රීති බැවින් ආහාර වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මෙහිදි අවධාරණය කළේය.
මෙම කාරක සභාවට තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.

