මැයි දින සැමරුම නතර කිරීමට ආණ්ඩුවට අයිතියක් නෑ : ගුරු සංගම් සටනට !

මැයි දින සැමරුම නතර කිරීමට ආණ්ඩුවට අයිතියක් නෑ  : ගුරු සංගම් සටනට !

වැඩකරන ජනයාගේ මැයි දින සැමරුම් කෝවිඞ් කමිටුව උපයෝගී කරගෙන නතර කිරීමට ආණ්ඩුවට  කිසිදු අයිතියක් නැති බව මෙරට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සමිතියක් වන ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහත දැක්වෙයි.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් නොපැවැත්වීමට කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇති බව පසුගිය 20 දින යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා  මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණි. මෙම තීරණය ගනු ලැබුවේ කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථාන ප‍්‍රධානී, යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හා දේශාපලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් 2021.04.20 දින පැවති විශේෂ රැස්වීමකදී බව ශී‍්‍ර ලංකා යුධ හමුදා වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ දේශපාලන පක්ෂ නියෝජිතයින් හෝ ආණ්ඩුව විසින් නොව මෙරට වැඩකරන ජනතාව විසිනි. මැයි 1 දින සමරන ජාත්‍යන්තර කම්කරු දිනය කම්කරුවා සතු වැඩකරන පන්තිය විසින් සමරන දිනයක් මිස දේශපාලන පක්ෂ විසින් සමරන දිනයක් නොවේ. කම්කරුවාගේ ප‍්‍රශ්න, කම්කරු අයිතීන් පිළිබඳ හඬනැගීමට වෙන් වූ දිනය වැඩකරන ජනතාවට අහිමි කිරීමට දේශපාලන පක්ෂවලට හෝ ආණ්ඩුවට කිසිදු සාදාචාරාත්මක අයිතියක් නොමැති බව අවධාරණය කර සිටිමු.

කෝවිඞ් 19 තත්වය තුළ සිංහල, දෙමළ අලූත් අවුරුදු උත්සවය සැමරූ අතර, එම උත්සව සමයේ නිරෝධායන පිළිවෙත් කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය විසින් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා ලදී.

එසේම ආණ්ඩුව විසින් ගම සමග පිළිසදර වැනි ජනතාව ඒකරාශී වන විවිධ වැඩසටහන් ද කිසිදු නිරෝධායන පිළිවෙතකින් තොරව පැවැත්වීම පසුගිය කාලය පුරාම සිදු විය.  

හදිසියේ ම යළි කෝවිඞ් භීතියක් ඇති කරමින් මැයි දිනය නොපැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කළ බව ප‍්‍රකාශ කරන්නේ ආණ්ඩුව තුළ මේ වන විට පැන නගිමින් ඇති අර්බුදකාරී තත්වය වසාගැනීමටත්, විවිධ ක්ෂේත‍්‍රවල පැන නගින ජනතාවගේ විරෝධතා වැලැක්වීමට බවත් පැහැදිලි වෙමින් පවතින තත්වයකි. මේ තත්වය තුළ වැඩකරන ජනතාවට හිමි මැයි දින සැමරුම් අවලංගු කිරීමට ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණයට ලංකා ගුරු සංගමය දැඩි විරෝධය පළ කර සිටී.

මේ තත්වය තුළ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිරෝධායන පිළිවෙත් අනුව මැයි 01 දින බැංකු, තැපැල්, වරාය, ගුරු-විදුහල්පති, සෞඛ්‍ය, රක්ෂණ, ටෙලිකොම් ආදී ක්ෂේත‍්‍රවල ස්වාධීන වෘත්තීය සමිති විසින් ඒකාබද්ධව පැවැත්වීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න