Language Switcher

V2025

ජනාධිපතිගේ පොහොර තීන්දුවට : සාධාරණ සමාජයේ ප්‍රතිචාරය මෙන්න !

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව   ශ්‍රී ලංකාව පූර්ණ කාබනික කෘෂිකර්මය වෙත යොමු වන්නේ ද යන්න, මෙරට ආහාර සුරක්ෂිතතාව, කෘෂිකර්මාන්තයෙහි වාණිජමය තරගකාරීත්වය, කෘෂි-පාරිසරික කලාප විවිධත්වය ආදී කරුණු සමුදායක් පිළිබඳව විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්තියක් මත, අදිරය වශයෙන් ක්‍රියාවට නැංවීම ඉතා වැදගත් වන බව අවධාරණය කරබ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වන බවට ජනාධිපති ගෙන ඇති තීන්දුව සම්බන්ධව "රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වීම ජාතික ආහාර සුරක්ෂිතතාව දුර්වල නොවන පරිදි ක්‍රමානුකූලව සිදු කළ යුතුය" යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කර ඇති නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

  "රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වීම ජාතික ආහාර සුරක්ෂිතතාව දුර්වල නොවන පරිදි ක්‍රමානුකූලව සිදු කළ යුතුය"   

 රසායනික පොහොර ආනයනය නුුදුරු අනාගතයේදී සම්පූර්ණයෙන් නවතා දැමීමට අදහස් කරන බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා විය. එවන් තීරණයක් ක්‍රියාත්මක කළ යුතු වන්නේ, සියලු පාර්ශවකරුවන්ගේ අවබෝධය ඇතිව සහ විද්‍යාත්මක ලෙස තොරුතුරු මත පාදක වූ මනා සැලසුමක් අනුව ක්‍රමානුකූලව බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශ්වාස කරයි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව සම්පාදනය කරන ලද, ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විට ජනතා අදහස් සඳහා විවෘත කර තිබෙන අතර, එහි දැක්වෙන ප්‍රතිපත්තිය රසායනික සහ  කාබනික පොහොර මිශ්‍ර ක්‍රමයකි. මෙවන් තත්ත්වයක් තුළ, ජනාධිපතිතුමාගේ එම අදහස පැහැදිළි කිරීම, අදාළ සැලසුම් සහ කාල රාමු ජනතාවට දැන ගැනීමට සැලසේ නම් වැදගත් වේ.  ශ්‍රී ලංකාව රසායනික පොහොර  භාවිතය සාපේක්ෂ වශයෙන් අධික රටකි. බැර ලෝහ පරිසරයට එකතු වීම, භූ ජල තලයට දූෂක එකතු වීම, සෞඛ්‍ය ගැටලු ආදියට එය හේතු වන බව පෙන්වා දී ඇති බැවින්, රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වීම රටට හිතකර වෙයි.   

නිදහසින් පසුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අත් කර ගෙන තිබේ. ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහලින් ස්වයං පෝෂිත වීම ඇතුලුව වෙනත් බෝගවල ඵලදායීතාව වර්ධනය කර ගැනීමට ද හැකි වී තිබෙන අතර රසායනික පොහොර භාවිතය මෙකී ඵලදාවේ වර්ධනයට දායක වී තිබේ.

රසායනික පොහොර භාවිතයෙන් පූර්ණ ලෙස ඉවත් වී සිටින ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ අත්දැකීම්, සමස්ත රටම කාබනික කෘෂිකර්මය වෙත පරිවර්තනය කිරීමේ ජනාධිපතිතුමාගේ තීරණය ක්‍රියාවට නැංවීමේදී වැදගත් වනු ඇත. ජෛව වැදගත්මක අතින් ඉහළ කඳුකර ප්‍රදේශයක් වන සිකීම් ප්‍රාන්තය කාබනික කෘෂිකර්මය වෙත  ගමන් කිරීමේ තීරණය ගනු ලැබුවේ වර්ෂ 2003 දී වන අතර, එවක ද එය ඉන්දියාවේ රසායනික පොහොර භාවිතය අවම ප්‍රාන්තයක් විය. එම පරිවර්තනය වර්ෂ 14ක් තිස්සේ ක්‍රමකිව සහ අදිරය වශයෙන් දියත් කරනු ලැබ 2016 වර්ෂයේදී සාර්ථක ලෙස නිම කරනු ලැබිණි. 

සිකීම් ප්‍රාන්තය අදට ද මුහුණ දී සිටින එක් අභියෝගයක් නම් ප්‍රමාණවත් තරම් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමයි. එක් කුඹුරු හෙක්ටයාරයක අස්වැන්න 1960 ගණන් සිට මේ වන විට ටොන් 2 සිට ටොන් 5 පමණ දක්වා වැඩි වී ඇත. කෘෂි විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, වී නිෂ්පාදනය සඳහා එක් හෙක්ටයාරකින් වසරක් තුළ ඉවත් කෙරන නයිට්‍රජන් ප්‍රමාණය ටොන් 100 අධික වේ. ඵලදායීතාව රඳවා ගැනනීමට නම්, පස යළි පෝෂණය කිරීමට අති විශාල පෝෂක ප්‍රමාණයක් යළි පසට එක් කළ යුතු වේ. දේශීය පොහොර නිෂ්පාදනයට එවන් අවශ්‍යතා සපුරාලීමට හැකි වන පසුබිමක් නිර්මාණය කිරීම වැදගත් වේ. තවද, ශ්‍රී ලංකාව කෘෂිකාර්මික භූමිය වශයෙන් ගත් කළ විවිධත්වයෙන් ඉහළ වන අතර, කෘෂි-පාරිසරික කලාප 46කින් සමන්විත වේ. රටටම එක් ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේදී ඒ එක් එක් ප්‍රදේශයේ සුවිශේෂීතාව සැලකිල්ලට ගත යුතුය.  

ශ්‍රී ලංකාව පූර්ණ කාබනික කෘෂිකර්මය වෙත යොමු වන්නේ ද යන්න, මෙරට ආහාර සුරක්ෂිතතාව, කෘෂිකර්මාන්තයෙහි වාණිජමය තරගකාරීත්වය, කෘෂි-පාරිසරික කලාප විවිධත්වය ආදී කරුණු සමුදායක් පිළිබඳව විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්තියක් මත, අදිරය වශයෙන් ක්‍රියාවට නැංවීම ඉතා වැදගත් වන බව අවධාරණය කරමු. එමෙන්ම, සියලු ප්‍රතිසංස්කරණ ගොවි ජනතාව, ගොවි සංවිධාන සහ කෘෂිකාර්මික ප්‍රජාවගේ පූර්ණ එකඟත්වයෙන් සහ ආශීර්වාදයෙන් යුතුව සිදු කළ යුතු බව අවධාරණය කරමු.