Language Switcher

V2025

ලංකාවට එරෙහි ජාත්‍යන්තර මැදිහත්වීමක අවධානමක් !

ශ්‍රී ලංකාවේ සුළු ජනකොටස් ඉලක්ක කර දියත්වෙමින් ඇති ප්‍රචණ්ඩත්වය සම්බන්ධව ජගත් සංවිධානයේ රටවල දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඊයේ (7) ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසිවාරයට සාමාජික රටවල වාචික වාර්තාව ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන්ද මේ සම්බන්ධව අවධාරණය කර ඇත.

එහිදී මහකොමසාරිස්වරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුළු ජන කොටසකට එරෙහිව දියත්ව ඇති ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම සහ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක නොවීම බවත් ඒ පිළිබඳ සාමාජික රටවල අවධානය යොමුවිය යුතුව ඇති බවත්ය.

එසේම සිදුවෙමින් පවතින දේ සම්බන්ධව තමන් දැඩි අවධානයකින් පසුවන බවද මහකොමසාරිස්වරයා අවධාරණය කර ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වන ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විද්වතුන් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම, සංක්‍රාන්ති යුක්තිය ඉටුනොවීම, සංහිඳියාවේ ප්‍රගතිය සම්බන්ධව ජාත්‍යන්තරය තැබූ විශ්වාසය මේ වන විට සිදුවන සිදුවීම් හරහා පළුදු වෙමින් ඇති බවත් එහෙයින් පොරොන්දුවූ ලෙස අදාළ කටයුතු සිදුකිරීමට වගකිවයුත්තන් ක්‍රියා කලයුතු බවය.

තවද දිගින් දිගටම මානව හිමිකම් සුරැකීම, අතුරුදහන් වුවන් සම්බන්ධව සහ සංක්‍රාන්ති යුක්තිය ඉටුවීම වචන වලට පමණක් සීමා කළහොත් ජාත්‍යන්තරය වෙතින් දැඩි බලපෑමක් එල්ලවීමේ අවධානමක් ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

 අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන එන්න - යුරෝපා සංගමය

Capture12

මේ අතර යුරෝපා සංගමයද ලංකාව සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත්කොට තිබෙන අතර එහි සඳහන් කර ඇත්තේ ද්වේශසහගතව සාපරාධී කටයුතු වල නියැලෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට ඉදිරිපත් කලයුතු බවය.

එසේම හදිසි තත්ත්වය හමුවේ ගනුලබන සෑම ක්‍රියාමාර්ගයක්ම ව්‍යවස්ථානුකූලව අයිතිවාසිකම් වලට ගරුත්වයක් සහිතව සිදුවිය යුතු බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.