රට ආරක්ෂා කරන බව පවසා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.
ඒ අද (02) බොරැල්ලේ අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
MCC ගිවිසුමට දැඩි විරෝධයක් පල කරමින් බලයට පැමිණ ඊටත් වඩා දරුණු ලෙස කටයුතු කරන අතර රට තුළ ඒකාධිපතිවාදයකට හෝ බොරු කියා ගේම් ගසන ආකාරයේ වාදයකට ඉඩදිය නොහැකි බවත් අගරදගුරු පැවසීය.
වර්තමානයේ රට පවතින තත්වය සම්බන්ධයෙන් කණගාටු වන බවත් රට කුමන දිශාවකටද ඇදගෙන යන්නේදැයි තේරුම් ගත නොහැකි බවත් රටේ තීන්දු තීරණ ගන්නේ සහ පාලනය කරන්නේ කවුරුන්ද යන්න ගැන ගැටලුවක් බවත් සඳහන් කරන අගරදගුරු රටේ තිබෙන සම්පත් විකුණාදැමීම පහසු නමුත් දියුණුව යනු රටක සම්පත් විකුණා දැමීම නොවන බවත්, මේ අවස්ථාවේ රටේ භූමිය වෙනත් රටවලට පූජා නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයිද සඳහන් කළේය.
ආණ්ඩුවක් තීරණ ගත යුත්තේ ධනවතුන්, බලවතුන් හෝ විදේශ රටවල් පැත්තේ සිට නොව ජනතාව ගැන සිතා බවත්, දැහැමි ප්‍රතිපත්තිගරුක, විනිවිද පෙනෙන පාලනයක් වෙනුවට ටිකෙන් ටික රට බිලිගන්නා මෙම දූෂිත පාලන ක්‍රමයෙන් රට විනාශ වනු ඇතැයිද පැවසීය.

