ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරකු වන රියාජ් බදුර්දීන් විසින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු ඉල්ලා අස්වී ඇත.
අද (04) අදාළ ඉල්ලා අස්වීම සිදුව ඇත.
තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.
මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණ.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විවෘත අධිකරණයේ සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම සලකා බැලීමේ කටයුත්තෙන් තමන් ඉවත් වන බවය.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම මේ මස 11 වනදා දක්වා කල් තැබුණි.
මීට පෙරද එනම් මැයි මස 28 දා මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවා තිබූ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකුව සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ද පෞද්ගලික හේතුවක් මත පෙත්සම සලකා බැලීමෙන් ඉවත් විය.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කර ඇති බැවින් මෙම පෙත්සම් විභාගයට සහභාගී වීමට අකමැති බව විනිසුරු ජනක් ද සිල්වා එහිදී සඳහන් කර තිබිණ.

