Language Switcher

V2025

එක්ස්ප්‍රස් පර්ල් නැව : වරාය වෘත්තීය සමිති ජනාධිපති කොමිසමක් ඉල්ලයි !

XPRESS PEARL නෞකාව ගිනිබත් වීම, ඊට වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණවීම, සිදුව ඇති හානිය පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදු කිරීම, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

ඊට අදාළ ලිපිය පහත දැක්වෙයි. ජනාධිපතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

XPRESS PEARL නෞකාව ගිනිබත් වීම, ඊට වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණවීම, සිදුව ඇති හානිය පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදු කිරීම, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටීම.

ජාත්‍යන්තර නාවික  ක්ෂේත්‍රය තුල ප්‍රති අපනයන සිදු කරන වරායන් අතර කොළඹ වරාය අත්කරගෙන ඇති කීර්තිනාමය අති විශිෂ්ඨ එකකි. එසේම අනෙකුත් සේවා පහසුකම් සැපයීම අතින්ද කොළඹ වරාය ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත. එම කීර්තිය අප රටක් ලෙස ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයකි. ඒවා අහඹු ලෙස අත්පත් කරගත් ජයග්‍රහන නොවන අතර, ඒවා අතිතයේ සිටි විෂය පිළිබඳව අවබෝධයක් සහිත ඇමතිවරුන්, සභාපතිවරුන්, කීර්තිමත් නිළධාරීන් හා අති දක්‍ෂ සේවකයින්ගේ සාමූහික මැදිහත් වීම් වල ප්‍රතිඵල වේ.

  1. XPRESS PEARL නෞකාව ශ්‍රී ලංකා මූදු සීමාව තුළ 2021. 06. 01 දින වන විට ගිනිගෙන මුහුදුබත් වීම හා එමගින් අපගේ සාගරය, වෙරළ, මතස්‍ය සම්පත, කොරල් පද්ධතියට සිදුව ඇති හානිය මුදලින් තක්සේරු කළ නොහැක.

  2. එසේම මෙම අනතුරින් ලංකාවේ ධීවර කර්මාන්තයට හා සංචාරක කර්මාන්තයට දැඩි බාධා පැමිණ ඇත.

  3. නාවික ක්ෂේත්‍රය තුළ කොළඹ වරාය අත්කර ගෙන ඇති කීර්තිනාමය මෙම සිදුවීමෙන් පලූදු වී ඇත.

  4. XPRESS PEARL නෞකාව ගිනිගෙන මුහුදුබත්ව ඇති ප්‍රදේශය කොළඹ වරායට නැව් ප්‍රවේශ වන මාර්ගයට සමීපව පිහිටා ඇති බැවින් නෞකා පැමිණීමේ දී හා නෞකා නතර කර තැබීමේදී බාධා පැමිණීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

  5. XPRESS PEARL නෞකාවේ දේශීය නැව් නියෝජිත ආයතනය ලෙස කටයුතු කරනු ලැබූ Sea Consortium Lanka (Pvt) Ltd. සමාගම මෙම අනතුරේ ප්‍රධාන වග උත්තරකරුවෙකි. එම සමාගම නෞකාවේ ඇති භාණ්ඩ පිළිබඳව නිවැරදි වාර්තා ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම නැව තුල හදිසියේ ඇතිවන  ඕනෑම ගැටලූකාරී තත්වයක් පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකරිය දැනුවත් කිරීම කළ යුතු වේ. වරාය අධිකාරිය පවසන පරිදි නෞකාවේ කපිතාන්වරයා හා නෞකාවේ දේශීය නියෝජිත සමාගම නෞකාවේ සත්‍ය තොරතුරු වසංකලා නම් එය බරපතල වරදකි. එසේ වුවත් නැව් නියෝජිත ආයතනයට එරෙහිව මේ දක්වා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා වී නැත. එසේ වූයේ කිසියම් දේශපාලන සම්බන්ධයක් නිසාද යන ගැටලූව අප තුල පවතී.

  6. කෙසේ වෙතත් මේ දක්වා සිදු කරන ලද පරීක්‍ෂණ වලදී නෞකාවේ කපිතාන්වරයා විසින් සත්‍ය තොරතුරු වසන්කර නැව ලංකා මුහුදු සීමාවට ඇතුල් කර ඇති බවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදු කරන චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

  7. පරස්පර ප්‍රකාශ දෙකක් ඒ අනුව මතුව අත. මෙම ගනුදෙනු සිදුවන්නේ වාචිකව සිදුකර ගන්නා කතාබහ මගින් නොව, ඊ-මේල් පණිවිඩ මාර්ගයෙන් නිසා, ඇත්ත සහ බොරුව සිදු කරන්නේ කවුරුන්ද යන්න සොයා ගැනීම අපහසු නැත.

  8. තොරතුරු සඟවා හෝ නොසඟවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුලත්ව 2021. 05. 20 දින නැංගුරම් දැමීමට අවසර ලබාදෙන ලද XPRESS PEARL නෞකාවේ දේශීය නියෝජිත ආයතනය විසින් ඊ-මේල් පණිවිඩයක් යොමු කර නෞකාවේ බහාලූම් කිහිපයක රසායනික ද්‍රව්‍ය කාන්දු වීම පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුවත් කර ඇත.

  9. එම දැනුම් දීමට අනුව වරාය ගිනි නිවන අංශයේ නිළධාරී මහතුන් දෙදෙනෙකු හා නාවික හමුදා නිළධාරී මහතෙකු නෞකාවට ඇතුල් වී ඇත. එම මොහොතේ නෞකාවේ ගින්නක් නොපැවතුනු අතර බහාලූම් කිහිපයකින් දුමක් පමණක් පිට විය. ඒ මොහොතේ පැවති තත්ත්වය මත වරාය අධිකාරියට තීරණ දෙකක් ගැනීමේ හැකියාව තිබූ බව අපගේ විශ්වාසයයි.

  10. I. බහාලූ කිහිපයක රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හා එහි පැතිරීමත් සැලකිල්ලට ගෙන නෞකාව කඩිනමින් ගැඹුරු මුහුද වෙත යොමුකර අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම.

II. ගින්නක් ඇති වීම වලක්වා ගනිමින් රසායනික ද්‍රව්‍ය කාන්දු වන බහාලූ කඩිනමින් ඉවත් කර වෙන් කිරීම සඳහා පර්යන්තයක් වෙත ක්ෂණිකව යොමු කිරීමක් සිදු කිරීම. ඒ වෙනුවෙන් පර්යන්තයක් හිස්වන තුරු රැදී නොසිට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම.  

  1. මේ ආකාරයට රසායනික ද්‍රව්‍ය පිටවීම නිසා ඇතිවන ගිනි ගැනීම් හා වෙනත් හේතු නිසා ඇතිවන ගිනි ගැනීම් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අලූත් අත්දැකීම් නොවේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම වරාය තුලත් ඉන් පිටතත් නෞකා ගිනි ගැනීම් වලදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒවාට සාර්ථකව මුහුණ දී ගිනි මැඩ පවත්වා විශාල විනාශයන් වලක්වා ඇත.

  2. නෞකාවේ ගින්න පැතිරීමට කාලගුණ තත්ත්වය බලපෑවා වුවත්, රසායනික ද්‍රව්‍ය කාන්දුව පිළිබඳව වරාය අධිකාරය දැනුවත්ව සිටි වේලාවත් ගින්න ඇතිවූ වේලාවත් අතර කාලය මෙහිදී අතිශයින්ම වැදගත් වේ. තීරණ ගැනීමේ දී සිදුව ඇති ප්‍රමාදය හා නිවැරදි තීරණ ගත්තාද යන ගැටලූව අප තුල ඇත.

  3. එසේම නෞකාව බේරා ගැනීමේ මෙහෙයුමේදී අත්දැකීම් බහුල දැනුම පළපුරුද්ද සහිත නිසි බලධරයන් සම්බන්ධ කර ගත්තා ද? තීරණ ගැනීමේ දී ප්‍රමාදයක් සිදු වුනා ද? ගනු ලැබූ තීරණ නිවැරදිද? විකල්ප ක්‍රියාමාර්ග නොතිබුණා ද? කාලගුණ වෙනස්කම් හේතුවෙන් හදිසි නෞකා මෙහෙයුම් වලට ඉඩක් ඇත්තේම නැද්ද? සිද්ධිගත කාලය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කිසිදු නෞකා මෙහෙයුමක් සිදු කර නැද්ද? වරාය ගිනි නිවන අංශය අවශ්‍ය පරිදි ගින්න මැඩ පැවැත්වීම සඳහා දායක කර ගත්තා ද? යන කරුණු පිළිබඳව සොයා බැලිය යුතුව ඇත.

  4. සිදුව ඇති විනාශයට කිසියම් මට්ටමකින් හෝ ප්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා උපරිම වන්දියක් ලබාගැනීම සඳහා ක්‍රියා කල යුතුව ඇත. කොළඹ වරාය ලෝකය තුල අත්කර ගෙන ඇති කීර්ති නාමයට මෙම අවාසනාවන්ත සිදුවීම නිසා හානි ගෙන දී ඇති බව අපගේ වීශ්වාසය වේ. එවැනි අවස්ථාවක රටක කීර්ති නාමය වෙනුවෙන් පුද්ගල තරාතිරම දේශපාලන සම්බන්ධතා නොසලකා හැරිය යුතුය.

එබැවින් XPRESS PEARL නෞකාව ගිනිබත් වීමට අදාලව ඊට වගකිවයුත්තන් සොයා බලා දඬුවම් පැමිණවීමල සිදුව ඇති විනාශය පිළිබඳව විද්‍යාත්මක සොයා බැලීමක් සිදු කිරීම, අගතියට පත් පාර්ෂව සඳහා වන්දි ලබා දීම හා මෙවැනි සිදුවීමක් නැවත ඇති නොවන ආකාරයට ක්‍රියාකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් යුත් පුර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙසත් මාස තුනක් ඇතුලත එහි කටයුතු අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.   මෙයට, විධායක සභාව වෙනුවෙන්, නිරෝෂන් ගොරකානගේ ප්‍රධාන ලේකම්, සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය.