Language Switcher

V2025

රිෂාඩ් නිදහස් කරනු !

ජනතාවගේ සිත් දිනා ගනිමින්, මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව වන්නි දිස්ත්‍රික් ජනතා සංවිධානය සඳහන් කරයි.
 
" රිෂාඩ් නිදහස් කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදීව පෙළ ගැසෙමු...!" මැයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරන අතර සතියකට පැය තුනක් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදියුදීන් මහතා මාස දෙකකට ආසන්න කාලයක්, අධිකරණයකට ඉදිරිපත් නොකර රඳවා ගෙන සිටින්නේ ඇයිදැයි යුක්තිය සහ නීතියේ සාධාරණත්වය අගයන සමාජයක පුරවැසියන්ට ගැටළුවක්"  බවත් එහි සඳහන් කර ඇත.
 
වන්නි දිස්ත්‍රික් ජනතා සංවිධානය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
රිෂාඩ් නිදහස් කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදීව පෙළ ගැසෙමු...!
 
උතුරු පළාතේ සහ වන්නි දිස්ත්‍රික්කයේ ජන ජීවිත නගා සිටුවීමට සහ ප්‍රදේශයේ  සංවර්ධනය සඳහා සුවිශේෂ මෙහෙවරක් කළ නායකයා ලෙස මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කර ගැනීම සඳහා අප සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදීව, එක්ව කටයුතු කළ යුතුය. 
 
රිෂාඩ් බදියුදීන් මැතිතුමා ට, වන්නි දිස්ත්‍රික් ජනතාවගේ සිත් දිනා ගැනීමට හැකිවූයේ ජනතාවගේ පොදු අවශ්‍යතාවයන් නිරතුරුව සොයා බලමින්, කටයුතු කළ නිසාය. එමෙන්ම බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළ නායකයෙක් නිසාය.
 
බෙදුම්වාදයට සහ අන්තවාදයට විරුද්ධව කටයුතු කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර සමගිය වෙනුවෙන් නිරතුරුව කටයුතු කරන රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයට, වන්නි දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර සහ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවල බලය දුන්නේ ඒ නිසාය. රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින්, පැවති උද්ඝෝෂණ සඳහා කොළඹ, පුත්තලම, මන්නාරම දිස්ත්‍රික්වල සිංහල, දෙමළ ජනතාවද විශාල වශයෙන් සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබිණ. එමෙන්ම, වන්නි දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, ජනතාව ද පොදු ජන නායකයෙක් ලෙස රිෂාඩ් බදියුදීන් මහතා පිළිගනිති.
 
පසුගිය රාමසාන් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතා රඳවාගෙන සිටීමේ පදනම කුමක්දැයි බලධාරීන් රටට හෙළි කළ යුතුය. සැමට සමානව සහ සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි රටේ ජනතාව අපේක්ෂා කරති. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ දේශපාලන අරමුණක් ඉටු කිරීමක්දැයි සැකයක් පවතී. 
 
සතියකට පැය තුනක් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදියුදීන් මහතා මාස දෙකකට ආසන්න කාලයක්, අධිකරණයකට ඉදිරිපත් නොකර රඳවා ගෙන සිටින්නේ ඇයිදැයි යුක්තිය සහ නීතියේ සාධාරණත්වය අගයන සමාජයක පුරවැසියන්ට ගැටළුවකි. 
 
ජනතාවගේ සිත් දිනා ගනිමින්, මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු. 
 
 - වන්නි දිස්ත්‍රික් ජනතා සංවිධානය-