එන්නත්කරණයත් ෆේල් : නඩු නැති රටට මොට පායයි ද සූරියා ? සාහිත්‍යවේදීයකුගේ ප්‍රශ්නයක් !

එන්නත්කරණයත් ෆේල් : නඩු නැති රටට මොට පායයි ද සූරියා ? සාහිත්‍යවේදීයකුගේ ප්‍රශ්නයක් !

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුන සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්‍යාලයේ ලබාදීමේ සිදුවීම සම්බන්ධව සාහිත්‍යවේදී බුද්ධදාස  ගලප්පත්ති සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත.

"නඩු නැති රටට මොට පායයි ද සූරියා ?" මැයෙන් තබා ඇති එම සටහන පහත දැක්වෙයි.

නඩු නැති රටට මොට පායයි ද සූරියා ?

ඇස්ට්‍රා සෙනිකා දෙවනි මාත්‍රාව ඊයේ උණවටුන සෞඛ්‍ය අධිකාරි කාර්යාලයේ දී එන්නත් කළා කියන්නෙ කොළඹින් සුඛෝපභෝගී වාහනවලින් අධිවේගී මාර්ගයෙන් ගිය නෝනාවරුන්ට හා මහත්වරුන්ටලු.

පළමුවන මාත්‍රාව පිටකෝට්ටෙ දි පැය 6 ක් පෝලිමේ ඉඳල ගහගත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වන මම මැයි 8 දා සිට බලාගෙන ඉන්නවා දෙවනි මාත්‍රාව ගන්නෙ කොහොමද කියලා.දෙවනි මාත්‍රාව නොලැබුණු ලක්ෂ ගණනින් එක්කෙනෙක් වුණු මම මේ ප්‍රවෘත්තිය දැකල මවිතයට පත්වුණේ අපේ රටේ නීතියක් සාධාරණත්වයක් කියල මොනයම්ම දෙයක්වත් අද ඉතිරිවෙලා නැද්ද කියලා.

මේ අවනඩු කාට කියන්නද?මට දෙවනි මාත්‍රාව කොළඹ දි නොලැබෙන්නත් ගාලු ගිය නෝනල මහත්වරුන්ට ලැබෙන්නත් සාධාරණ හේතුවක් තියෙනව ද කියල මම වගේ ම දෙවනි මාත්‍රාව නොලැබුණු ලක්ෂ ගණනක් පුරවැසියො වෙනුවෙන් පිළිතුරක් දෙන්න කියල ගරු ජනාධිපතිතුමා, අගමැති තුමා,සෞඛ්‍ය අමතිවරු ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යාංශයෙ බලධාරීන්ගෙන් නිහතහමානීව ඉල්ලා සිටිනවා.

මේ අසාධාරණ ව්‍යාපාරයට වගකිවයුතු වෛද්‍යවරුන්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගය මොකක්ද කියලත් කියනව නම් එන්නත නොලැබුණත් හිතට සැනසීමක් ඒක.

අඩුම තරමෙ වරද කළ පාර්ශවයකට දඬුවමක්වත් ලැබුණ කියල.පියුමිගේ චන්දිමාල්ගේ උපන්දින සාදය තරම් ජාතික වටිනාකමක් මේ අසාධාරණ නින්දිත ක්‍රියාවට අදාළ ප්‍රවෘත්තියෙ නැද්ද කියල අපේ මාධ්‍ය අයිතිකරුවන්ගෙනුත් අහන්න කැමතියි.

(උපුටා ගැනීම බුද්ධදාස ගලප්පත්ති ගේ ෆේස්බුක් ගිනුමෙනි )

විමර්ශන කරනවා !

මේ අතර ගාල්ල උණවටුන සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්‍යාලයේ  පැවති ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ පිරිසක් සහභාගී වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට උපදෙස් ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර ඇත.

අද (08) පාර්ලිමේන්තුවේ දී සිය අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අදාළ සිදුවීම පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය මේ වන විටත් ගාල්ල ප්‍රදේශයට ගොස් ඇති බවය.

එම වැඩසටහනට සහභාගීවු අයට එරෙහිව නීතියානූකූල හා විනයානූකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න