කොරෝනා රාජකාරි සඳහා බාධා කළ : තවත් ප්‍රා.සභා පොහොට්ටුවෙක් ගැන පැමිණිල්ලක් !

කොරෝනා රාජකාරි සඳහා බාධා කළ : තවත් ප්‍රා.සභා පොහොට්ටුවෙක් ගැන පැමිණිල්ලක් !
කොරෝනා මර්දන රාජකාරී කටයුතුවල නිරතව සිටි  සංවර්ධන නිලධාරීවරයාගේ සහ ග්‍රාමනිලධාරිනියගේ රාජකාරීවලට බාධා කරමින් තර්ජනය කළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයාට එරෙහිව කඩිනමින් පියවර ගන්නා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
 
සංවර්ධන නිලධාරී සේවා වෘත්තීය සමිතිය විසින් මේ පැමිණිල්ල ලිඛිතව සිදුකර ඇති අතර 2021 ජුනී 10 දින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු, හෙලන් පුෂ්පකුමාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් බෙලිඅත්ත සිටිනාමළුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීවරයාගේ හා ග්‍රාම නිලධාරිනියගේ රාජකාරීවලට බාධා කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව  රජය කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතු බවත් එහි අවධාරණය කර ඇත.
 
රාජ්‍ය අමාත්‍ය වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
 
රාජ්‍ය අමාත්‍ය,

ගරු චමල් රාජපක්ෂ මැතිතුමා,
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය,
නිල මැදුර, ඇල්විටිගල මාවත,
කොළඹ - 05.

ගරු අමාත්‍ය තුමනි,

#Covid-19 ට අදාළ රාජකාරීවල නිරතව සිටි සංවර්ධන නිලධාරීවරයාගේ සහ ග්‍රාමනිලධාරිනියගේ රාජකාරීවලට බාධා කරමින් තර්ජනය කළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයාට එරෙහිව කඩිනමින් පියවර ගන්න.

2021 ජුනී 10 දින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු, හෙලන් පුෂ්පකුමාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් බෙලිඅත්ත සිටිනාමළුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීවරයාගේ හා ග්‍රාම නිලධාරිනියගේ රාජකාරීවලට බාධා කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් අප සංගමයේ දැඩි විරෝධය පල කරමු.

ආණ්ඩුව නියෝජනය කරන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ මෙම හැසිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

#Covid-19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මුළු රටේම ජනතාව අවධානමට ලක්ව ඇති මොහොතක ජනතාව වෙනුවෙන් #Covid-19 යටතේ වන රාජකාරී අවම සෞඛ්‍යාරක්ෂිත පහසුකම් පවා නොමැතිව සිදුකරන රාජ්‍ය සේවකයින්ට එරෙහිව දියත් කරන බාධා කිරීම්, තර්ජනය කිරීම් ඇතුළු ක්‍රියාවන්ට එරෙහිව ආණ්ඩුවට නිසි පියවරක් කඩිනමින් ගත යුතු බව අප සංගමය අවධාරණය කරමු.

ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරීවලට බාධා කිරීම් තර්ජනය කිරීම්, පහරදීම් වැනි සිදුවීම් නිරන්තරයෙන් සිදුවන බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය විෂයභාර ගරු අමාත්‍යවරයා වශයෙන් සලසාදීම ආණ්ඩුවේත්, ඔබතුමාගේත් වගකීමක් බව පෙන්වා දෙන්නෙමු.

ඉහත සඳහන් රාජකාරියට බාධා කිරීම් හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර අදාළ නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වහා අත්තඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අංශවෙත උපදෙස් ලබා දෙන ලෙසද අපි ඉල්ලා සිටිමු.

ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට එරෙහිව ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
ප්‍රධාන ලේකම්
චන්දන සූරියආරච්චි

 සංවර්ධන නිලධාරී සේවා සංගමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න