Language Switcher

V2025

සාධාරණ සමාජය : යුරෝපයට තුති පුදයි !

යුරෝපා රටවල් කිහිපයක්ම විසින් මෙරට කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් සිදුකරන පරිත්‍යාග සම්බන්ධව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කෘතගුණ පළකරයි.

ඒ බව සඳහන් කරමින් නිවේදනයක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

කොවිඩ් 19 වසංගත රෝග තත්වය හේතුවෙන් ඉමහත් අභියෝගයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ යහපත උදෙසා ස්විස්ටර්ලන්ත රජය මඟින් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීම පිළිබඳව අප සංවිධානයේ බලවත් ස්තුතිය එම රජයටත්, ස්විස්ටර්ලන්ත ජනතාවටත් පළකරනු කැමැත්තෙමු.

අදාළ වෛද්‍ය උපකරණ තොගය (ජූනි 08 වන දා) කටුනායක ගුවන් තොටුපොලේ දී ශ්‍රී ලංකාව වෙත භාර දී තිබේ. මෙයට අමතරව ජර්මන් ජනරජය ද අපගේ ආයාචනයෙන් දින 2කට පසු ශ්‍රී ලංකාව ඇතුළු සුදුසුකම් ලබන රටවල ප්‍රයෝජනය සඳහා එන්නත් මිලියන 30 ක් නිදහස් කර ඇත.

ජර්මන් චාන්සලර් තුමිය විසින් මේ තීරණය ගත් බවට අපව දැනුවත් කර ඇත.මීට අමතරව පසුගිය සති කිහිපය තුළ ස්විස්ටර්ලන්තය ප්‍රංශය හා ජපානය සමඟ ද ඉතා හදිසි අවශ්‍යතාවය පවතින ඇස්ට්‍රා සෙනිකා  එන්නත් ලක්ෂ 600000 ක් ලබා ගැනීම සඳහා අප කළ ඉල්ලීම් වල දී, ලංකාවට සහාය වීමට මෙම සෑම රටක්ම ඉදිරිපත් වීම හා ඔවුන් ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි දැක්වූ සෙනෙහස අගය කරමු.

මේ අනුව ජපානයෙන් ලැබෙන ප්‍රදානයත්, අපගේ මිත්‍ර රටවලින් "කොවැක්ස්" ක්‍රමවේදය හරහා ලැබෙන එන්නත් ප්‍රමාණයත් සමඟ අඩුම වශයෙන් එන්නත් 865000 ශ්‍රී ලංකාවට ඉක්මනින් ලැබෙනු ඇත.මෙම දුෂ්කර අවස්ථාවේ සහාය ලබා දුන් රජයන්ට හා ජනතාවට, එම රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ වෙසෙන ගරු තානාපතිවරුන්ට ද අප දිරිමත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානය ටත් අපගේ ප්‍රණාමය පුද කරමු.

එමෙන්ම මේ සඳහා ආශිර්වාද ලබා දුන් යුනිසෙෆ්  ආයතනයටත් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත තුමියටත් අපි ස්තුතිවන්ත වෙමු.මෙම එන්නත් මෙරටට ලැබුණු පසු ඒවා බෙදා හැරීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කිරීම රජයට භාර කාර්යයක් වන අතර මේ සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි හුදෙක් විශ්වාස කරමු.

දේශබන්දු කරු ජයසුරිය 

සභාපති 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය(හිටපු කථානායක)