Language Switcher

V2025

රනිල් ඉල්ලපු විවාදයට : සජබ මන්ත්‍රීලාත් ඔලුව වනයි !

ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ගෙන යමින් ඇති බවත්  පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවත් හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ බව සඳහන් කළේය.
 
මෙම විවාදය ඉල්ලු අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා තමා වටා සිටි සමගි ජනබලවේගය මන්ත්‍රී පිරිසේ අදහසද ඒ සම්බන්ධව විමසූ අතර එය ඔවුන් අනුමත කරන බව හිසෙන් සංඥා කරනු දක්නට ලැබිණ.
 
අද වන විට ප්‍රශ්න ගණනාවක් එකට එකතු වී ඇති බවත් ආර්ථික අර්බුදයට මුලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවත්, ඒ සඳහා ක්‍රියාත්මක කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 
තවදුරටත් පාර්ලිමේන්තුව ඇමතු හිටපු අග්‍රාමාත්‍යවරයා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව පෙන්වා දුන්නේය.
 
මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවද ඔහු එහිදී අවදාරණය කර සිටියේය.

"මේ කාර්ය සාධක බළකායට ඉදිරියට යන්න බෑ. අසාර්ථ වෙලා තියෙන්නේ. හැමදේම වැඩිවෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතළ දෙන්නේ නැත්තේ.
 
ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට විතරයි. අගමැතිතුමා මෙතෙන ඉන්නවා ඇමතිවරුත් මෙතෙන ඉන්නවා. ඔබ තුමාලා භාරගන්න. වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන ඇවිත් කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න.
 
ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාරනොදෙන්නේ. WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ.
 
ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට නැත්තන් කැබිනට් මණ්ඩලයට විතරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය මත. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒ බලතල ගන්න." "ආයෝජන මණ්ඩල හමුවට මුදල් ඇමති හරි රාජ්‍ය මුදල් අමාත්‍ය හරි යන්න තිබුණා. ඒකට හමුදාපති ගිහින් කතා කරලා, හිටපු අයත් නැගිටලා ගිහින්."
 
එකම විකල්පය : IMF සමඟ ගනුදෙනුවට යන්න !

රට මේ වන විට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සමඟ ගනුදෙනු කිරීම බවත් ඔහු පැවසීය. 

 අතීතය ගැන කථා කිරීමෙන් රට පත්ව සිටින තත්ත්වයෙන් ගොඩ ආ නොහැකි බව ද සඳහන් කර සිටි එජාප නායකයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට රජය අකමැති නම් එයට ඇති විකල්පය කුමක් දැයි හෙළි කරන ලෙස ද ඉල්ලා සිටියේය.

ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි ද  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.