ඩලා බැසිල් කොලේ වැහුවද ? අනුර (වීඩියෝ )

ඩලා බැසිල් කොලේ වැහුවද ? අනුර (වීඩියෝ )

''සාමාන්‍යයෙන් ඕනෑම කැබිනට් පත්‍රිකාවක් සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන්නේ නම් අවම වශයෙන් සිකුරාදා වන විටවත් ඇමතිවරුන් අතට කැබිනට් පත්‍රිකා ලැබෙනවා. කෙසේ වුවත් මේ කැබිනට් පත්‍රිකාව එසේ ලැබුණේ නැහැ. ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට යනවිට මේ පත්‍රිකාව අතිරේක පත්‍රිකාවක් ලෙස මේසය මත තබා තිබුණා. මෙය විදුලි බල විෂයට අයත්. මා දැනගන්න කැමතියි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගෙන්, මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වන බව ඔබ දැනසිටියාද? ඔබව ඒ පිළිබඳව දැනුවත් කර තිබුණාද? මා දන්නා පරිදි නම් ඔහු පවා මේ පත්‍රිකාව දකින්නේ ඊට වාඩි වූවාට පසුවයි." යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මෙසේ සඳහන් කර සිටියේ ඊයේ (13) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

"ඕනෑම කැබිනට් පත්‍රිකාවකට, විශේෂයෙන් ඒ විෂයට අදාළ අමාත්‍යවරුන්ට ඊට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙනවා. මෙය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නිසා විදුලි බල අමාත්‍යවරයාටත්, ඛනිජ තෙල් අමාත්‍යවරයාටත් නිරීක්ෂණ ලබා දීම සඳහා කාලයක් ලබා දුන්නා. ඔවුන් කාලයක් ඉල්ලා තිබුණා. ඒ මොහොතේම ඔවුන්ට නිරීක්ෂණ ලබා දෙන ලෙස කියා තිබෙනවා."

"මේ කඩිමුඩිය කුමක් සඳහාද? කොළේ වසා ගැසීමේ තේරුම කුමක්ද? ඒ අනුව පැය 24ක කාලයක් ලබා දී තිබෙනවා. ඔවුන් නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබුවත් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවම අනුමත කරනු ලබනවා."

"ඇතැම් කැබිනට් ඇමතිවරුන් නොමඟ යවා, ඇතැමුන් රවටා මුදල් ඇමතිවරයා විසින් එය ඉදිරිපත් කර තිබෙනවා. එම පත්‍රිකාව සකස් කරන අවස්ථාවේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂයි, දැන් ඉදිරිපත් කරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂයි."

''රාජපක්ෂ පවුලට අයිති මැදමුලන දේපළක් විකුණනවා වගේ ජාතික ආර්ථිකයේ කොටස්, ජාතික ආරක්ෂාවට තීරණාත්මක ලෙස බලපානු ලබන කොටස් මෙම ඇමරිකානු සමාගමට ලබා දී තිබෙනවා.''

පසුගිය සඳුදා (ජුලි 12) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මිට අදාල කැබිනට් පත්‍රීකාව ඉදිරිපත්කර කරනු ලැබුවේ විෂය බාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට ද වසන්කර දැයි ජවිපෙ නායකයා මෙහිදී සැකමතු කළේය.

කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ පිහිටි සමාගමකට භාරදීමට උත්සාහයක් පවතින බවත් ඔහු එහිදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

'' පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබෙනවා. එසේම එම කැබිනට් පත්‍රිකාවට අනුරූපී වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතාත් 'නිව් ෆෝට්ට්‍රස්' ඇමරිකානු සමාගම සමග ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. ''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න