කොතලාවල පනත - ජනාධිපති සම්මත කරනවා කියයි : ජවිපෙ අදත් පාරේ !

කොතලාවල පනත - ජනාධිපති සම්මත කරනවා කියයි : ජවිපෙ අදත් පාරේ !

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ පනත ඉදිරියේදී ගෙන එන බවත් රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහිවීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .

බෞද්ධ උපදේශක සභාවේ භික්ෂූන් හමුව අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහි විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත්කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගන්නැයි මෙහිදී බෞද්ධ උපදේශක සභාවේ භික්ෂූන් වහන්සේලා ජනාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම පනත ගෙනඑනු ලැබුවේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති වත්මන් පොහොට්ටු පක්ෂ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එක්ව පිහිටුවා තිබූ ආණ්ඩුව සමයේ වන අතර එම පනතට විරුද්ධව මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංස, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු එම අවස්ථාවේ විපක්ෂයේ සිටි පිරිස දැඩිව කටයුතු කළහ.

කෙසේ වෙතත් මේ වනවිට එම පනත කිසිදු වගන්තියක වෙනසකින් තොරව යළිත් මේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

එහි ඡන්ද විමසීම ඉදිරියේදී පැවැත්වීමටද නියමිතය.

එවැනි පසුබිමක මේ වනවිට රටේ ගුරුවරු, විදුහල්පතිවරු, වෛද්‍යවරු ඇතුළු රාජ්‍ය සේවකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ කොතලාවල පනට විරුද්ධව විරෝධතා ආරම්භ කර තිබේ.

එමෙන්ම මෙයට විරෝධය දැක්වීමක් ලෙස ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින්ද ඉවත් වී සිටිති.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විරෝධතාවල !

මේ අතර නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත හකුළාගන්න ලෙස ආණ්ඩුවට බල කරමින් අද (17) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන ලදී.

එම අවස්ථාවට ජවිපෙ නායක අනුර දිසානායක, ටිල්වින් සිල්වා, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහින්ද රත්නායක ඇතුළු ජාතික ජන බලවේගය නියොජනය කරන පිරිසක් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න