Language Switcher

V2025

විපක්ෂයේ පොදු වේදිකාවක් : සජිත් - කරූ එක්වෙයි !

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය මැදිහත්ව සංවිධානය කරන ලද විපක්ෂයයේ එකමුතුවක් සඳහා වන සාකච්ඡා මාලවේ ආරම්භක සාකච්ඡාව ඊයේ (17) හිටපු කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ 05 ජානකී හෝටලයේදී ඉතාම සාර්ථකව අවසන්වූ බව එහි සංවිධායකයන් පවසයි.

එහිදී සාකච්ඡාව සඳහා පදනම්වූ ලියවිල්ල හිටපු කතානායක කරු ජයසූරිය විසින් සභාගත කර ඇති බවත් අදාළ හමුවේ පළමු වටය මාධ්‍යට නිරාවරණය කර ඇත.

එහෙත් දෙවැනි වටය පවත්වා ඇත්තේ මාධ්‍යයට නිරාවරණය නොවූ අභ්‍යන්තර සාකච්ඡාවක් ලෙසය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය දෙදෙනා අතර මෙවැනි දේශපාලනික හමුවක් සිදුවූ පළමු අවස්ථාව මෙය වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළුව ඊට එක්වූ විපක්ෂයේ පක්ෂ නායකයන් එහිදී අදහස් දක්වා තිබේ.

විපක්ෂ නායක සජිත් : අදහස් දක්වා පිටව ගිහින් !

"තමන්ගේ අඩුපාඩු වසා ගැනීමට ජනතාව වෙත මර්ධනය දියත් කිරීමට මේ අසමත් ආණ්ඩුව කටයුතු කිරීමට එරෙහිව සමස්ත විපක්ෂය එකමුතු කිරීමට කරු ජයසූරියගේ නායකත්වයෙන් හා මගපෙන්වීමෙන් 'සාධාරණ සමජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ගෙනයන මෙම උත්සහය මේ මොහොතේ අතිශය වැදගත් බව පැවසු විපක්ෂ නායකවරයා, එය සාර්ථක කරගැනීමට අප සියලුදෙනා කැපවෙමු"

කෙසේ වුවත් මෙම අදහස් දැක්වීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ස්ථානයෙන් ඉවත්වගොස් තිබෙන බව වාර්තා වෙයි.

මාධ්‍යයට නිරාවරණය නොවූ මෙම හමුවේ දෙවන භාගය ඒ අනුව සජිත් ප්‍රේමදාස හැර අනිකුත් නායකයින් සියලු දෙනාගේම සහභාගීත්වයෙන් පවත්වා ඇති අතර කරු ජයසූරියගේ නායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට එහිදී ඒකමතිකව තීන්දු කොට ඇති බවත් වාර්තා වෙයි.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය ඇතුළු, රටේ පවතින ආර්ථික දේශපාලන හා සමාජයීය අර්බුද සඳහා විසදුම් ලබා දිය හැකි ප්‍රමුඛ ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීමට තීන්දු කොට ඇති අතර ඒ සඳහා සියලු පක්ෂ නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීමටද තීරණය කොට ඇත.

මෙම වැඩසටහන සඳහා ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරන තිබුණද ඒ සඳහා කිසිවෙකු සහභාගි වී නොසිටි නිසා ජනතා විමුක්ති පෙරමුණ මෙම වැඩපිළිවෙල තුළ සිටීමේ වැදගත්කම කරු ජයසූරිය විසින් පැහැදිලි කොට ඇත.

තවද විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සෑම මසකම නියමිත දිනයක දී පැවැත්වීමට එකඟතාවයකට පැමිණ තිබේ.

පාඨලී චම්පික රණවක

''මූල්‍යම වශයෙන් රට පත්ව ඇති අසාර්ථකත්වය කෙරෙහි මේ මොහොතේ අප සියලු දෙනාම අවධානය යොමු කල යුතුයි. රට ඉතා විශාල මූල්‍යම බංකොලොත්භාවයක් අභියස තිබෙන්නෙ. මේ සඳහා විපක්ෂය විදිහට අප ජනතාවට විශ්වාස කල හැකි ප්‍රායෝගික විසඳුම් සහිත ජාතික ප්‍රතිපත්ති මාලවක් අවශ්‍ය වෙනවා. අප එය නිර්මාණය කරගත යුතුයි.

ජනතාව දිනෙන් දින පෙළන මේ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය එකමුතුව පෙළගැසිය යුතුයි. ඒ සඳහා නයකත්වය දෙන්න සුදුසුම් කෙනා කරු ජයසූරිය මහතායි. අපිට මතකයි දින 52 වෙලාවෙ එතුමන් අපට දක්වපු නායකත්වය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වටා එකතුව අපි ඉදිරියට යමු කියලා මම යෝජනා කරනවා.''

රාජිත සේනාරත්න

''අපි මේ රටේ ඊළඟ මැතිවරණයෙන් බලය ගත්තට වැඩක් නැහැ අපි අවුරුද්දක් ඇතුළත ද්‍රෝහීන් වෙනවා අපි හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකලොත්. ඒක නිසා අපි හරි දැක්මකින් හරි කාලරාමුවකට වැඩ කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. නැත්තම් ජනතාව තවදුරටත් මේ රටේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් විශ්වාස කරන එකක් නැහැ.

ලී ක්වාන් යූ බලයට ආවට පස්සෙ මුලින්ම කරේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම. මම හිතනවා අපිත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ගැන සංවේදීව මේ පිළිබඳව සිතා බැලිය යුතුයි කියලා.

''මේ විපක්ෂය එකතු කරන්න සුදුසුම කෙනා කරු ජයසූරිය මැතිතුමා බව අවිවාදිතයි. අපි එකමුතුව එතුමන් සමඟ ආරම්භ කරන ගමන ජයග්‍රහණයෙන් කෙළවර කරමු කියලා මම යෝජනා කරනවා.''

මනෝ ගනේෂන්

''අපිට මතකයි කරු ජයසූරිය මහතා දින 52 වෙලාවෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව අප රටට දීපු නායකත්වය. අපි සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය නැවත දිනා ගත්තෙ එතුමන් නිසා.

ඒක නිසා අපි මේ දුර්දාන්ත පාලනය පරාජය කරන්න, ජනතාවට අයිතිවාසිකම් දිනා දෙන්න නැවත සාධාරණ සමාජයක් සංවිධානය වටා එකමුතුවෙමු කියලා මම යෝජනා කරනවා.

සාධාරණ සමාජයක් කියන නම දෙමළට පරිවර්තනය කරෙත් මම. අපි දෙමල ජනතාව විදිහට ජාතික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් සාධාරණ සමාජයක් සංවිධානය පෙරමුණ ගත යුතු යයි මම යෝජනා කරනවා.''

රුවන් විජයවර්ධන

කරු ජයසූරිය හිටපු කතානායකවරයා විසින් දරන උත්සහය වටා සියල්ලන්ම ඒකරාශි වී මේ රට ගොඩනගන්න දායකවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්න ඕන. ඉතිං ඒ සඳහා අපි සුදුසු ජාතික ප්‍රතිපත්ති මාලවක් නිර්මාණය කරගන්න මේ එකමුතුව මූලිකව යෙදවිය යුතුයි කියලා මම යෝජනා කරනවා.'

එම්.ඒ සුමන්තිරන්

''මේ රටේ ප්‍රමුඛම ප්‍රශ්නයක් මේ රජය අමතක කරනවා. ඒ තමයි දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදීම. සාධාරණ සමාජයක් සංවිධානය වහාම මේ සඳහා මැදිහත් විය යුතුයි. ඒ සඳහා පැහැදිලි ස්ථාවරයක් ප්‍රකාශ කලයුතුයයි මම යෝජනා කරනවා.

මේ රටට මෙහෙම ඉදිරියට යන්න බැහැ. මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ මිනිසුන් ලක්ෂ ගණනාවක් මියගිය. මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ දශක දෙකක් මේ රට යුද්ධයක සිර කල. ඒක නිසා අපේ ජනතාවගෙ ප්‍රශ්න ගැන මේ රට සංවේදී විය යුතුයි. අපි පෙබරවාරි මාසයේ මේ ගැන දින පහක පාගමනකුත් සංවිධානය කරා. මේ ගැන ඔබේ සංවිධානය අවධානය යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.''