පෙසප අනෙක් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා අරඹයි !

පෙසප අනෙක් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා අරඹයි !

වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත ඇතිකර තිබෙන පීඩාව තවත් බලලෝභී දේශපාලන ක්‍රීඩාවකට ඉඩ නොදී සැබෑ ජනතා ජයග්‍රහණ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා මාලාවක් ආරම්භ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

ඊයේ (21) නුගේගොඩ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ වනවිට ආණ්ඩුවේ අසාර්ථකභාවය සලකුණු කර ඇත්තේ පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නවලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණ හේතුවෙන් නිසා බවත් ජනතාව වෙනුවෙන් විකල්ප සොයන දේශපාලන ජයග්‍රහණ කරා යාම සඳහා මාර්ග සෙවිය යුතු බවත්ය. දැනටමත් මතුව තිබෙන ආණ්ඩු විරෝධයේ රැල්ලක් මගින් බලයට පත්වීමට ඇතැම් අවස්ථාවාදී නායකයන් කටයුතු කරන නමුත් ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම ප්‍රමුඛ අවශ්‍යතාව බව ඔහු අවධාරනය කළේය. ඒ නිසා හුදු බලමාරුවකට එහා ගිය ජනතා බලයක් ගොඩනැඟීමේ අරමුණින් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ තෝරාගත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කිරීමට සූදානම්වන බව මෙහිදී පෙ.ස.ප. ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

ඔහු කියා සිටියේ බලයට පත්වන ආණ්ඩුවලට මගහැර යා නොහැකි, එවැනි බලයක් ගොඩනැඟිමේදී ජනතා ප්‍රශ්න වෙනුවෙන් මැදි‍හත්වන සියලු දේශපාලන බලවේග සමඟ අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂා කරන බවය. ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමට ආණ්ඩුවට අවධානයක් නැති තත්වය තුළ සිදුවන්නේ ජනතාවගේ විරෝධතා රැල්ල විපක්ෂයේ බලලෝභී අරමුණුවලට පමණක් භාවිතා වීමය. මේ නිසා සැබැවින්ම ජනතා ගැටලු සම්බන්ධ විසඳුම් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර විසින් ගෙන එන යෝජනා අවධානයට ගතයුතුව තිබෙන බව කුමාර් ගුණරත්නම් පැවසීය. මේ අරමුණ ඇතිව ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට තම පක්ෂය අදහස් කරන බව ඔහු ප්‍රකාශ කළේය.

පෙ.ස.ප. ප්‍රධාන ලේකම්වරයා විසින් අවධාරනය කළ කාරණය වූයේ, මෙරට දේශපාලන ඉතිහාසයේ හැමවිටම සිදුවන ආකාරයෙන් ආණ්ඩු විරෝධයක් හරහා හුදු බලමාරුවකින් කෙළවර නොකරන ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව පෙ.ස.ප අදහස් ඉදිරිපත් කිරීමටත් ඒ් සම්බන්ධ සෙසු පක්ෂවලට ඇති අදහස් හා යෝජනා සම්බන්ධ සාකච්ඡාවක් ගැනීමටත් කටයුතු කරන බවයි. මෙම විශේෂ මාධ්‍ය හමුවට පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න