සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

ශ්‍රී ලංකාව තුළ පවතින අනර්ථකාරි සියලු වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත ඊයේ (29) නියෝග නිකුත් කළාය.

වැරැදි සහගත ලෙස වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම්, වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වල තොරතුරු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම  විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත මෙහිදී නියෝග නිකුත් කළාය.

පහළොස් හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවල යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙර දින අධිකරණ නියෝග පරිදි අධිකරණය හමුවේ පෙනී සිටි විදුලි සංදේශ නියාමන කොමිසම වෙත මෙලෙස නියෝග නිකුත් විය.

විවිධ වෙබ් අඩවි මඟින් විවිධාකාරයේ මිනිස් වෙළෙඳාම හා ලිංගික අපයෝජන වන බවට කරුණු වාර්තා කරමින් මේ කටයුතු පාලනය කිරීම සහ මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා අධිකරණයට මැදිහත් වන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා හා කාන්තා කාර්යාංශය එක්ව අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීම සලකා බලන බවට මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව සියලු කරුණු සලකා බලමින් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරන බවට මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරමින් ප්‍රකාශ කළාය.

ලංකා ඇඩ් ඩොට් කොම් :

බාල වයස්කාර දැරිය ලිංගික හිංසනයට ලක් කිරීම සඳහා මුලික වූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක රණසිංහ ආරච්චිලාගේ දුමින්ද සම්පත් පෙරේරා හා එම වෙබ් අඩවියේ හිමිකරු මාකේවෙළ ගෙදර ධනුක කෞශල්‍ය යන සැකකරුවන් ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය .

මෙම ප්‍රශ්නාර්ථ වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා හිමිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවනට ඔවුන්ගේ එම වෙබ් අඩවියේ මුරපද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළාය

මෙම නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් නව දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.

සෑම ඉරු දිනකම උදැසන 09- 12 අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට තවත් ඇප කොන්දේසියක් නියම කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න