Language Switcher

V2025

කොරෝනා අස්සේ මර්දනය : තවත් වාර්තාවක් එළියට !

ලංකාවේ සිදු කෙරෙන උද්ඝෝෂණ මර්දනය සහ අගෝස්තු 3 වැනිදා කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය  කළ කම්කරු හා ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එල්ල වී ඇති මර්දනය පිලිබඳ විශේෂ වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත්කර ඇත.
 
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත්කර ඇති එම වාර්තාව පහත දැක්වෙයි.
 
එහි විශේෂත්වය වන්නේ විරෝධතා , උද්ඝෝෂණ මැඩලීමේ රාජ්‍ය උපාය උපක්‍රම කොරෝනා වසංගතය පැතිරීම අතර  සම්බන්ධතාව කරුණු සහිතව  අවධාරණය කර තිබීමයි.
 
මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ලෝකයේම අවධානය මෙරටට යොමුව තිබියදී , මේ වාර්තාව නිකුත්ව තිබීමත් තවත් විශේෂ සිදුවීමක් වන අතර අදාළ වාර්තාව පහත දැක්වෙයි.
 
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව අගෝස්තු මස 3 වැනිදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයේදී පොදු දේපල වලට අනර්ථයක් කළ බවට චෝදනා කරමින් පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.  
 
අත්අඩංගුවට ගැනීම් සහ ඉන් අනතුරුව සිදුවූ ක්‍රියාදාමය මර්දනීය සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමයකි. එමෙන්ම එය නිශ්චිත දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලියක ලක්ෂණ පෙන්වන අතර ඒ සියලු අවස්ථා වලදී නෛතික සීමාවන් ඉක්මවා යාමක් නිරීක්ෂණය කළ හැක.
 
 ඒ සම්බන්ධයෙන් වන මූලික කරුණු මෙලෙස පෙළගැස්විය හැක. 
 
01. අත්අඩංගුවට ගැනීම් වල මර්දනීය ස්වභාවය 
 
(අ) නිවෙස්වලට කඩාපැන අත්අඩංගුවට ගැනීම. 
 
උක්ත උද්ඝෝෂණයේදී පොදු දේපල වලට අනර්ථයක් හෝ වෙනත් එවැනි නීතිවිරෝධී ක්‍රියාවක් සිදු වීනම් අදාළ චුදිතයන් ඒ අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කළ යුතුය. නමුත් පොලීසිය ඒ අවස්ථාවේදී අවම වශයෙන් එවැනි දැනුම්දීමක් හෝ නොකර රාත්‍රියේ නිවෙස් වලට කඩාපැන තෝරාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලද අතර එය දේශපාලන මර්දනයක ස්වභාවය උසුලයි. අප පක්ෂයේ පාලක ලේකම් හා කම්කරු අරගල මධ්‍යස්ථානයේ ක්‍්‍රියාකාරික චමීර කොස්වත්ත සහෝදරයා සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ක්‍්‍රියාකාරික කෝෂිලා හංසමාලි සහෝදරිය අගෝස්තු 3 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන්ගේ නිවෙස් වලට පොලීසිය පැමිණ තිබුණේ රාත්‍රී 9.00 -10.00 අතරය. 
 
(ආ) පැහැරගැනීමේ මාදිලියේ අත්අඩංගුවට ගැනීම් 
 
තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවුයේ නෛතික අත්අඩංගුවට ගැනීමකට වඩා පැහැරගැනීමක ආකාරයෙනි. නිදසුනක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 5 වැනිදා විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී වැගන් ආර් රථයකින් පැමිණ නාඳුනන පිරිසක් විසින් පැහැරගන්නා ලදී. මේ පිළිබඳව විශ්ව විද්‍යාලයට දැනුම්දී තිබුණේ ඒ අසල සිටි ව්‍යාපාරිකයන් විසිනි. ඉන් අනතුරුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය මිරිහාන, මහරගම සහ තලංගම පොලීසි වලින්ද, නුගේගොඩ පාගොඩ පාරේ පොලිස් විශේෂ ඒකකයෙන්ද විමසන ලද අතර ඔවුන් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුවූ බව ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් පසුව ඔහුව මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තලංගම පොලීසියට භාරදුන් බව දැනගන්නට ලැබිණි. මේ ආකාරයට නිල ඇඳුම්, නිලරථ ආදිය නොමැතිව අත්අඩංගුවට ගැනීම සහ අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් පිලි නොගැනීම ඉතාම අවදානම්සහගත සහ භයානක තත්වයක් බවට විවාදයක් නැත. එපමණක් නොව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අගෝස්තු 6 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද්දේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වී නැවත පැමිණෙද්දී එම ආයතනය විශාල පොලිස් බලකායක් විසින් වටලා, මෙහෙයුමක ආකාරයෙනි. මෙය නිශ්චිතවම උද්ඝෝෂකයන් බිය වැද්දීමේ උපක්‍රමයක් සමග සම්බන්ධ බව පෙනී යන්නේ ඔහු ඊට පෙරදින විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උද්ඝෝෂණයට සහ මාධ්‍ය හමු කිහිපයකට ප්‍රසිද්ධියේ සහභාගී වී තිබුණු තත්වයක් තුළ මෙවැනි මෙහෙයුමක් දියත් වීම හේතුවෙනි. 
 
(ඇ) පොලීසියේ නිල නොවන හා අනීතික මැදිහත්වීම් 
 
යම් වරදක් සඳහා සැක සහිත පුද්ගලයන් හට පොලීසියේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කිරීමේ අවකාශයක් පොලීසිය සතුව තිබුණත් මේ අත්අඩංගුවට ගැනීම් වලදී මූලිකත්වය දෙන්නේ අදාළ අයගේ පවුලේ ඥාතීන් බියවැද්දීම බව කැපී පෙනේ. නිදසුනක් ලෙස කම්කරු අරගල මධ්‍යස්ථානය වෙනුවෙන් උද්ඝෝෂණයට සහභාගී වූ සුජිත් කුරුවිට සහෝදරයාගේ නිවසට කිහිප වරක්ම පොලීසිය පැමිණ ඇත්තේ පෞද්ගලික ව්‍යාපාරික සමාගමක අලෙවි නියෝජිතයන් බව පවසමිනි. එලෙස නිතර නිතර පැමිණ නිවැසියන් බිය වැද්දීම සිදු කළත් මේ දක්වාම ඔහුට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හෝ දැනුම්දීමක් කර නැත. අලෙවි නියෝජිතයන් බව කියමින් නිවසට පැමිණ නිවැසියන් බිය වැද්දු අය කතා කළ දුරකථන අංක පරීක්ෂා කරද්දී පෙනී ගියේ ඒවා වැලිකඩ පොලීසියේ නිලධාරීන්ගේ අංක බවයි. ලංකා වතු කම්කරු සංගමයේ චතුර සමරසිංහ සහෝදරයා හමුවීමට බව කියමින් අදාළ වෘත්තීය සමිති කාර්යාලයටද මේ ආකාරයේම අනිසි මැදිහත්වීම් සිදුකර තිබිණි. ලංකා බැංකු සේවක සංගමයටද වරින් වර පැමිණෙන නාඳුනන පිරිස් විසින් බියවැද්දීම් සිදුකර තිබිණි. 
 
(ඈ) බී වාර්තාවේ නම් සඳහන් නොවන අයට කරන මැදිහත්වීම් 
 
පසුව රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍්‍රියාකාරිකයෙකු වන හේෂාන් හර්ෂණ අගෝස්තු 16වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගේ නම පවා මුලින් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ චුදිත නාමලේඛනයේ නොතිබිණි. ඔහු අනෙක් ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට පැමිණීම සහ නීතීඥයන් හමුවීම ආදී වශයෙන් නීතිමය කටයුතු වලට මැදිහත් වූ අතර පොලීසිය ඔහුව හඳුනාගෙන හදිසියේ අත්අඩංගුවට ගන්නේ එම නීතිමය කටයුතු අඩාල කිරීම සඳහා බව පෙනේ. එමෙන්ම කම්කරු අරගල මධ්‍යස්ථානය ලෙස උද්ඝෝෂණයට සහභාගී වූ රවීන්ද්‍ර මුදලිගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට බව කියමින් නිට්ටඹුවේ පිහිටි ඔහුගේ නිවසට දෙවරක්ම පොලිස් නිල ඇඳුමින් සැරසුණු හා සිවිල් ඇඳුමින් සැරසුණු පිරිස්රාත්‍රියේ පැමිණ තිබිණි. තවත් වරක් යක්කල කිරිඳිවැල පාරේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට පිරිසක් පැමිණ තිබුනේ ඔහුගේ මිතුරන් බව පවසමින් ඔහු හමුවන මුවාවෙනි. මේ ආකාරයේ බලපෑම් සිදු කළත් පොලීසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති අංක 44506 දරණ නඩුවේ බී වාර්තාවේ හෝ රවීන්ද්‍ර මුදලිගේ යන නමක් සැකකරුවෙකු ලෙස හෝ සඳහන් කර නැත. මෙම බියවැද්දීම් සහ බලපෑම් කරනුයේ වරින් වර තීරණය කරනු ලබන පුද්ගලයන් ඉලක්ක කරගෙන මිස අවම වශයෙන් අදාළ සිදුවීමට සම්බන්ධ වීමේ පදනමින් හෝ නොවන බව පැහැදිලිය. 
 
02. ඇප ලබා නොදීමට අදාළ මැදිහත්වීම් 
 
(අ) පොදු දේපල චෝදනා ගොනු කිරීම හා ව්‍යාජ සංඛ්‍යා ඉදිරිපත් කිරීම 
 
මුලින් උද්ඝෝෂණ මර්දනය සඳහා යොදා ගනු ලැබුවේ නිරෝධායන ආඥා පනතයි. ඒ අනුව උද්ඝෝෂකයන්ට එල්ල කළ ප්‍රධාන චෝදනාව වනුයේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමයි. නමුත් එම චෝදනාව ඇප දිය හැකි එකක් වීම නිසා කිසිදු පිළිගත හැකි හේතුවකින් තොරව පොදු දේපල පනත මර්දනීය ලෙස භාවිතා කිරීම ආරම්භ විය. අගෝස්තු 3 වැනිදා උද්ඝෝෂණයට අදාලව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවේ පොදු දේපල හානිය ලෙස දක්වා ඇත්තේ කාඩ්බෝඩ් හා රිජිෆෝම් වලින් තැනු මිනී පෙට්ටියක ආකෘතියක් ගිනි තැබීමෙන් මාර්ගයට හානි වීමයි. එමගින් මහා මාර්ගයට හානියක් සිදු නොවන බව සුපැහැදිලි කරුණකි. එමෙන්ම මෙකී චෝදනා ගොනු කර ඇත්තේ සැබවින් සිදුවූ හානියක් සැලකිල්ලට ගැනීමකින් නොව ඇප ලබා ගැනීම වැළක්වීමේ අරමුණින් බව පෙනේ. නිදසුනක් ලෙස අඩි 5 ඞ 2.5 ප්‍රමාණයේ පෙට්ටියක් ගිනි තැබීමෙන් මාර්ගයට සිදුවූ හානිය ලෙස රුපියල් 1,79,000ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත. එම ඇස්තමේන්තුව සඳහා කිසිදු විද්‍යාත්මක පදනමක් නැති අතර ඇත්තේ ඇප ලබාදීම වැළක්වීමේ අරමුණක් පමණි. 
 
පොදු දේපල පනතට අදාළ චෝදනා වලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදීමේ හැකියාවක් ඇත. නිදසුනක් ලෙස ජුලි මස 9 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් ඉතා වැදගත් දත්ත ප්‍රමාණයක් රජයේ දත්ත ගබඩාවෙන් මැකී ගොස් තිබිණි. ඖෂධ ලියාපදිංචිය, ඖෂධ සමාගම් ලියාපදිංචිය, ලියාපදිංචිය කල් ඉකුත් වීමේ වකවානු, ඖෂධ සමාගම් අසාදු ලේඛනගත කිරීම, ප්‍රමිතියෙන් බාල ඖෂධ පිලිබඳ තොරතුරු ආදී මහජන සෞඛ්‍යයට ඉතා වැදගත් තොරතුරු මෙලෙස මැකී ගොස් තිබිණි. ඊට අදාලව දත්ත සැකසුම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සැප්තැම්බර් 8 වැනිදා අත්අඩංගුවට ගෙන ඔහුව පොදු දේපල විනාශ කිරීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළත් පසුදාම ඔහුට ඇප ලැබිණි. මහජන සෞඛ්‍යයට අදාළ වැදගත් තොරතුරු අස්ථානගත කළ චෝදනාවට ඇප ලබා දෙද්දී මහාමාර්ගයේ කාඩ්බෝඩ් පෙට්ටියක් පිළිස්සීමේ චෝදනාවට ඇප ලබා නොදීම ඉතා පැහැදිලිව උද්ඝෝෂණ මර්දනය කිරීමේ උවමනාව සහ දේශපාලන පලිගැනීම් සඳහා නීතිය අවභාවිතා කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශයට පත් කරයි.
 
(ආ) නීතිපති නිර්දේශයේ සීමාව 
 
පවතින වසංගත තත්වය සැලකිල්ලට ගෙන, බන්ධනාගාර වල පවතින අධික තදබදය තුරන් කිරීම සඳහා ඇප ලබාදිය හැකි සියලු දෙනාට ඇප ලබාදෙන ලෙස නීතිපතිවරයා අගෝස්තු මුල නිර්දේශයක් නිකුත් කරන ලදී. නමුත් එම නිර්දේශය නිකුත් කරන ලද්දේ උද්ඝෝෂකයන් මර්දනය කිරීමේ සහ දේශපාලන පලිගැනීම් කිරීමේ අවකාශය ඉතිරි කර ගනිමිනි. එම නිර්දේශයේ මත්ද්‍රව්‍ය ආදී වැරදි නිශ්චිත කර දක්වා ඇති අතර එයට අනුව උද්ඝෝෂණ සඳහා වන චෝදනා වලට ඇප ලබාදිය හැකිමුත් ඇප ලබාදීම අදාළ වන්නේ නැත. 
 
03. බන්ධනාගාර වල වසංගත අවදානම
 
මේ වනවිට ලංකාව පුරා වේගයෙන් කොවිඩ් ව්‍යාප්ත වෙමින් යන අතර බන්ධනාගාර තුළ තත්වය අතිශය අවදානම්සහගත වේ. වාර්තා වන ආකාරයට දිවයින පුරා බන්ධනාගාර තුළ 20,000කට අධික රැඳවියන් සිටී. ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම් අතිශය දුර්වල මට්ටමක පවතින අතර රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් යොදා ඇති ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණවත් නැත. බන්ධනාගාර තුළ පවතින අධික තදබදය විසින් රෝග ව්‍යාප්තිය සඳහා සරු පසක් සකසා තිබෙන බව අවිවාදිතය. එහි කිසිසේත්ම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත නොහැක. නිදසුනක් ලෙස තල්දෙන මධ්‍යස්ථානයේ පහසුකම් ප්‍රමාණවත් වන්නේ 80කට පමණ වුවත් මේ වන විට එමෙන් දෙගුණයක පමණ සංඛ්‍යාවක් එහි රඳවා ඇත. වැලිකඩ රක්ෂිත බන්ධනාගාරය තුළ තත්වය මීටත් වඩා අනතුරුදායකය. එහි දස දෙනෙකුට පවා ප්‍රමාණවත් නැති කාමර තුළ 40ක් පමණ රඳවා තිබෙන බව වාර්තා වේ. මීට පෙර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය සඳහා පාදක වුයේද කොවිඩ් ආරක්ෂණ ක්‍රමවේද නොමැති වීමේ ගැටලුවයි. එහිදී රැඳවියන් 11 දෙනෙකු පමණ ඝාතනය වී ඒ සම්බන්ධ විශාල සමාජ අවධානයක් නිර්මාණය වූ පසුවවත් රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් දියත් වී නැත.
 
(අ) බන්ධනාගාරගත කිරීමට පෙර නිරෝධායනය නොකිරීම
 
බන්ධනාගාරයට යවනු ලබන සියලු දෙනා මුලින් දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තබන බවට සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසියක් ඇතත් හේෂාන් හර්ෂණ මුල සිටම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලදී. ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම ඉහල මට්ටමක පවතී.
 
(ආ) බන්ධනාගාර තුළදී රෝගය ආසාදනය වීම !
 
අත්අඩංගුවට ගත් අය අතරින් චමීර කොස්වත්ත, අමිල සංදීප හා වසන්ත මුදලිගේ බදුල්ල තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයටත්, කෝෂිලා හංසමාලි මීගමුව පල්ලම්සේන නිරෝධායන මධ්‍යස්ථානයටත් යොමු කරනු ලැබීය. බදුල්ල තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි තිදෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බව අගෝස්තු මස 27 වැනිදා ආනාවරණය කර ගන්නා ලද අතර ඔවුන් ඒ වනවිටත් සති තුනක පමණ කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ සිටි බැවින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ බන්ධනාගාරය තුළදී බව පැහැදිලිය. ඔවුන් වැලිකඩ ගෙනගිය පසු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණ වලදී ඔවුන් නිරෝගී බව තහවුරු වී තිබිණි. පසුව සැප්තැම්බර් 12 වනදින කෝෂිලා හංසමාලි සහෝදරියටත් කොවිඩ් ආසාදනය වී ඇති බව අනාවරණය වූ අතර ඇයව මේ වනවිට අඹේපුස්ස කොවිඩ් රෝහල වෙත යොමු කර තිබේ. ඇය කොව්ඩ් අවදානමට ගොදුරු වී ඇති බවට කිහිප වරක් දැනුම් දී තිබියදීත් එය වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ගත්තේ නැත. රැඳවියන්ට කොවිඩ් ආසාදනය වීම සිදුවීමට ඉඩදී බලා සිටින ස්වභාවයක් බන්ධනාගාර වලින් නිරීක්ෂණය වේ.
 
(ඇ) රෝගී වූ බව වසන් කිරීම හා ප්‍රතිකාර ලබා නොදීම
 
බදුල්ල තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි තිදෙනාට පී. සී. ආර්. පරීක්ෂණ කර ඇත්තේ අගෝස්තු 22 වැනිදා වන අතර දන්නා අන්දමට ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා නිකුත් වී ඇත්තේ අගෝස්තු 24 වැනිදාය. නමුත් අගෝස්තු 27 වැනිදා වෙනත් ආකාරයකින් වෛද්‍යවරුන් මැදිහත් වන තුරුම ඔවුන් රෝගී බව බන්ධනාගාරය විසින් දැනුම් නොදුන් අතර මෙලෙස තොරතුරු සැඟවීම විසින් ඔවුන් විශාල ජීවිත අවදානමකට ලක්විය. කෝෂිලා හංසමාලි හට උණ රෝගය වැළදීම සැප්තැම්බර් 9 වැනිදා සිදුවූ අතර ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලැබුණේ නැත. කිසිදු රෝගයකින් තොරව දේශපාලඥයන් බන්ධනාගාරගත වූ පසුව කෙලින්ම බන්ධනාගාර රෝහලට ගෙනයනමුත් රෝගී වූ රැඳවියන් පවා රෝහල්ගත නොකිරීම ප්‍රශ්නයකි. පසුව සැප්තැම්බර් 10 රාත්‍රී ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවූ පසුව පවා රෝහල්ගත කළේ නැත. රැඳවියන්ට රෝගයක් වැළඳීමේ අවදානම දුරු කර ගැනීමේ අයිතිය මෙන්ම රෝගී වූ පසුව ප්‍රතිකාර ගැනීමේ අයිතිය පවා අහිමිව තිබේ.
 
(ඈ) රෝගීන් අවදානමේ හෙලීම
 
බදුල්ල තල්දෙනදී කොවිඩ් ආසාදනය වූ තිදෙනා අගෝස්තු 28 වැනිදා කිලිනොච්චියේ අයියකච්චි රෝහලට රැගෙන ගියත්, පරීක්ෂණය සඳහා නියැදිය ලබාගත් දිනයේ සිට දින 10ක් ගතවූ බව පවසමින් ඔවුන් සැප්තැම්බර් 2 වැනිදා නැවත වැලිකඩ බන්ධනාගාරයට ගෙන එන ලදී. ඊට පෙර පී. සී. ආර්. පරීක්ෂණයක් පවා සිදු නොකළ අතර මෙලෙස දින 10න් ඔවුන් බන්ධනාගාරයට එවීම ඔවුන් තිදෙනාගේ ජීවිත මෙන්ම අන් රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවද අවදානමේ හෙලීමකි. සාමාන්‍යයෙන් රෝහල් වලින් කොවිඩ් රෝගීන් දින 10කට පසු නිවෙස් වලට පිටත් කරන නමුදු එය කරන්නේ තවත් සතියක් ඔවුන් නිවසේ නිරෝධායනය වීමේ කොන්දේසිය යටතේය. මේ අනුව තවමත් නීතිය ඉදිරියේ වැරදිකරුවන් වී නැති, චෝදනාවට පමණක් ලක්වී ඇති රක්ෂිත බන්ධනාගාර රැඳවියන් හට අදාලව රටේ පොදු සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසි ක්‍රියාවේ නොයෙදවෙන අතර ඔවුන් ජීවිත අවදානමකට ගොදුරු කර තිබේ. 
 
(ඉ) නිරෝධායන රෙගුලාසි මගින් අයිතිවාසිකම් නැති කිරීම
 
කොවිඩ් පාලනය සඳහා යැයි කියමින් දැනට ගෙන තිබෙන ක්‍රියාමාර්ග වලින් කොවිඩ් වසංගතය පාලනයට ප්‍රමාණවත් කර්තව්‍යයක් ඉටු නොවනමුත් එයින් රැඳවියන්ගේ, විශේෂයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වේ. නිදසුනක් ලෙස රක්ෂිත බන්ධනාගාර වල රැඳවියන් සම්බන්ධ කර ගැනීමට හා ඔවුන් සමග අඛණ්ඩව සන්නිවේදනය සිදු කිරීමට ඥාතීන්ට ඇති අයිතිය උල්ලංඝනය වී ඇත. මේ සඳහා අවම වශයෙන් අන්තර්ජාලය සම්බන්ධ කරගත් පහසුකමක් හෝ ඇතිකළ යුතුව තිබේ. වඩාත් බරපතල වන්නේ රැඳවියෙකු හමු වීමට හා අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට නීතීඥයන්ට හෝ අවස්තාව අහිමි කර තිබීමයි. නිශ්චිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද සහිතව, එනම් මුඛ ආවරණ, සමාජ දුරස්ථභාවය, පුද්ගලයන් දෙදෙනා වෙන් කෙරෙන වීදුරු හෝ පොලිතීන් ආවරණ, විෂබීජ නාශක භාවිතය ආදිය සහිතව නීතීඥයන්ට සිය සේවා දායකයන් හමු වීමට අවස්ථාව ලබා නොදෙන්නේ මන්ද යන ප්‍රශ්නය පවතී. මෙලෙස සිය නීතීඥයා හමුවීම වැනි මූලික අයිතීන් පවා රක්ෂිත බන්ධනාගාර වල සිටින රැඳවියන්ට අහිමි වෙද්දී ඔවුන් සෑම අතින්ම වෛරසයට නිරාවරණය වන පරිසරයක් බන්ධනාගාර තුළ පවතී. 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found