සචිදානන්ද රවුත්‍රේ (1916 මැයි 13-2004 අගෝස්තු 21) ඔදියා බසින් නිර්මාණකරණයේ යෙදෙන කවියකු, නවකතාකරුවකු සහ කෙටිකතාකරුවකු වශයෙන් හැඳින්විය හැකි ය.
රවුත්‍රේ උපත ලැබුවේ 1916 මැයි 13 වන දින Khurda අසල Gurujangහිය. ඔහු හැදී වැඩී අධ්‍යාපනය ලැබුවේ බෙංගාලයේය. ඔහු විවාහ වූයේ ගෝලාපල්ලි රජ පවුලේ තෙළිඟු කුමාරිකාවක් සමගය. රවුත්‍රේ කවි ලිවීමට පටන් ගත්තේ වයස අවුරුදු එකොළහ සිට ය. ඔහු පාසල් වියේදී ම නිදහස් අරගලයට ද සම්බන්ධ වූයේ ය. ඔහුගේ සමහර කවි බ්‍රිතාන්‍ය රාජ්‍යය විසින් විප්ලවීය අන්තර්ගත හේතුවෙන් තහනම් කරන ලදී.
ඔහු 1962දී 'කබිතා' කෘතිය වෙනුවෙන් සාහිත්‍ය ඇකඩමි සම්මානයෙන් ද, 1986දී ඉන්දියාවේ ඉහළ ම සාහිත්‍ය සම්මානය වන 'ජනාන්පිත්' සම්මානයෙන්ද හෙතෙම පිදුම් ලැබී ය.
ඔහු සිය ලේඛන දිවිය ආරම්භ කළේ 1932දී 'පාතේය' (පළමු කවිය) ඔස්සේය. 'බාජි රවුත්‍රේ' නමැති දීර්ඝ කාව්‍යය හේතුවෙන් හෙතෙම අතිශයින් ජනප්‍රිය වූවේය. එබැවින් ඔහු ජනප්‍රිය වූයේ 'Sachi Routray' ලෙසිනි. එම දීර්ඝ කාව්‍ය සංග්‍රහය රචනා වී ඇත්තේ බ්‍රිතාන්‍ය පොලිසියේ වෙඩි උණ්ඩවලට ගොදුරු වූ බෝට්ටුකරුවකු සම්බන්ධයෙනි. තම අබලන් බෝට්ටුවෙන් ඔවුන්ව බ්‍රාහ්මණී ගඟෙන් එතෙර කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මිය ගිය බෝට්ටුකරුවකුගේ ප්‍රාණ පරිත්‍යාගය මෙම දීර්ඝ කාව්‍යයෙන් සැමරෙයි.
ඔහු දක්ෂ කවියකු වූ අතර කාව්‍ය සංග්‍රහ විස්සක් පමණ ප්‍රකාශයට පත් කළේය. ඔහු අයත් වූයේ ‘ජනතාව ගේ කවියන්’ ලෙස තමන් හඳුන්වා ගත් ලේඛකයින් පිරිසකට ය. රවුත්‍රේද ආගම තේමා කරගත් කවි කිහිපයක් ප්‍රකාශයට පත් කළේය. 'Chhota Mora Gan Ti' ලියා ඇත්තේ රවුත්‍රේ විසිනි. මෙම මාතෘකාව වත්මන් ඔදීෂාහි බොහෝ ගුරුවරුන් විසින් උගන්වනු ලැබේ.
තම දිවි සැරියේ වසර 88ක් පමණ ආයු වින්දනය කළ සචිදානන්ද රාවුත්‍රේ 2004 වර්ෂයේ අගෝස්තු 21 වන දින කටක්හි දී මිය ගියේ ය.
ඔහු විසින් රචනා කරන ලද කෙටිකතා අන්තර්ගත The Big Book of Odia Literature කෙටිකතා සංග්‍රහය ''ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා'' යන මැයෙන්: හොරගල විමලතිස්ස හිමි, මොහාන් ධර්මරත්න සහ අසිතංජන සෙනෙවිරත්න එක්ව සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. කෘතියේ සංස්කරණය : මොහාන් ධර්මරත්න විසිනි.
''ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා'' කවිවර ප්‍රකාශනයකි.
හොරගල විමල තිස්ස හිමි
මොකක්ද මේ ''ඔදියා සාහිත්‍යය...?''
බුද්ධ පරිනිර්වාණයේ දී බුදුන් ගේ ශාරීරික ධාතූන් අතරින් වම් සිරි දළදාව ලබාගත් ඛේමා රහත් තෙරණිය පුදපූජා සඳහා එය කාලිංගයේ බ්‍රහ්මදත්ත රජුට ප්‍රදානය කළා ය. එතැන් පටන් සියවස් ගණනාවක් තම රටේ වන්දනාවට පාත්‍ර වූ දන්ත ධාතූන්වහන්සේ කලිඟු රට ගුහසීව රජු විසින් ආරක්ෂාව පතා ක්‍රිස්තු වර්ෂ 301-328 අතර කිත්සිරිමෙවන් රජ සමයේදී අප වෙත එවයි. කාලිංගයෝ ජීවිත දහස් ගණනක් පුදා චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් නොකළා නම් ක්‍රිස්තු පූර්ව 247-207 කාලයේ අප රටට බුද්ධ ශාසනය නොලැබෙන්නට ඉඩ තිබුණි. බුද්ධ ශාසනය නොතිබෙන්නට, ආරක්ෂාව තකා දළදාව මෙහි නොපැමිණෙන්නට ද සෑහෙන ඉඩකඩක් තිබිය හැකි ය. පුරාණ කලිඟු රට හෙවත් කාලිංග දේශය, නැතහොත් වර්තමාන ඉන්දියාවේ ඔදිෂා ප්‍රාන්තය අපේ ඉතිහාසය හා සංස්කෘතිය සමග බලවත් ලෙස සම්බන්ධ වන්නේ එලෙසිනි.
දිග්විජය ප්‍රතිපත්තියෙහි පිහිටා චණ්ඩාශෝක බවට පත් භාරතයේ අශෝක අධිරාජයා ධාර්මික ධර්මාශෝක බවට පරිවර්තනය කිරීමට හේතුවූවා යැයි සැලකෙන ක්‍රිස්තු පූර්ව 261 මහා ජනසංහාරය සිදුවූ කාලිංග ජනපදය වූ කලී ගංගා සහ ගෝධාවරී නදී දෙකට මැදිව පිහිටි වර්තමාන ඔදිෂා (Odisha) ප්‍රාන්තය සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් කොටසක්ද අයත් වූ විශාල වපසරියක්ව තිබුණේ ය. ඔදිෂා ප්‍රාන්තයත්, එහි ව්‍යවහාර වන ඔදියා (Odia) භාෂාවත් වර්ෂ 2011 දක්වා හැඳින්වුණේ ඔරිස්සා (Orissa) ප්‍රාන්තය සහ ඔරියා (Oriya) බස හැටියටය. වර්ෂ 2011දී නිල වශයෙන් මේ නම්ගම් පාර්ලිමේන්තු පනතකින් වෙනස් කරනු ලැබිණි.
අප ඔදියා බසින් ලියැවුණු සාහිත්‍යය පිළිබඳව උනන්දු වන්නේ, අපත් ඔදිෂාවත් අතර පවතින මේ ඓතිහාසික සම්බන්ධකම් නිසාය. Manu Dash විසින් සංස්කරණය කරන ලද The Big Book of Odia Literature හෙවත් 'ඔදියා සාහිත්‍යයේ යෝධ ග්‍රන්ථය' තුළ ඔහු ඔදියා කවි, කෙටිකතා, නාට්‍ය සහ නිබන්ධ රැසක් සංග්‍රහ කර ඇත.
මේ වන විට එම කෙටිකතා සංග්‍රහයෙහි කෙටිකතා 30ක් අන්තර්ගත කෙටිකතා සංග්‍රහයක් ලෙස ''ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා'' යන මැයෙන්: හොරගල විමලතිස්ස හිමි, මොහාන් ධර්මරත්න සහ අසිතංජන සෙනෙවිරත්න එක්ව සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.
''ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා'' කවිවර ප්‍රකාශනයකි.

මොහාන් ධර්මරත්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
