එජාප නායකත්වය හාමුලාට විතරද : සජිත් වෙඩිල්ල පත්තු කරයි

එජාප නායකත්වය හාමුලාට විතරද : සජිත් වෙඩිල්ල පත්තු කරයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා වූ සටන නැවත අරඹන්නට අමාත්‍ය සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බව සිරිකොත මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග වාර්තා කරන ආකාරයට එජාප ජේෂ්ට නායකයින් පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඒ සඳහා මීට පෙර පක්ෂ නායකත්ව සටන වෙනුවෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහය ලබාදුන් පාර්ශව වල සහයද හිමිව ඇත.

සජිත් නායකයා කරන මතය හදන්න පොඩ්ඩන්ගේ සංවිධාන වැඩ

එසේම මෙවර නායකත්ව සටන වෙනුවෙන් එජාපය රැකගැනීම මැයෙන් බහුජන සංවිධාන කිහිපයක් මේ වන විටත් ගොඩනගා ඇති බවත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සමගාමීව එම සංවිධාන පක්ෂ අභ්‍යන්තරයේ රනිල් විරෝධය මතු කිරීමට නියමිත බවට වාර්තා වී ඇති බවද සිරිකොත ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

පාසල් නිල ඇඳුමෙන් සජිත් වැඩ අල්ලයි

එම ආරංචිමාර්ග පෙන්වා දෙන ආකාරයට එක්සත් ජාතික පක්‍ෂ නායක්තවය හිමිවිය යුත්තේ වලවු පන්තියේ පුද්ගලයින්ට පමණක් නොවන බවත් ගමේ පොඩි මිනිහාගේ දුක දන්නා නායකයින්ටද එම අවස්ථාව ලබා දිය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස හම්බන්තොට ප්‍රථමික විදුහලට බස් රථයක් පරිත්‍යාග කිරිමට පැවති උත්සවයේදී අදහස් පළකර ඇත්තේද අදාළ තීරණය දැනුම්දීම සඳහාය.

තවද පොහොර සහනාධාරය මෙන්ම පාසල් නිල ඇඳුම් සම්බන්ධව ආණ්ඩුව ගනුලැබූ ක්‍රියාමාර්ග විවේචනය කරමින් නව ප්‍රතිපත්ති වෙනස් කළයුතු බවට අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ කියන්නට යෙදුනේද පක්ෂ නායකත්ව සටන සඳහා ජනතා අවධානය ගැනීමට බවත් ඒ පක්ෂයේ ජේෂ්ට නායකයින් කිහිපදෙනෙකුගේ උපදෙස් මත බවත් වාර්තා වෙයි.

සජිත්ට මැදපෙළ සහය ගන්න ජේෂ්ටයින් පිරිසක් මැදිහත් වෙයි

කෙසේ වුවත් පසුගිය අවස්ථාවේ මෙන් මෙවර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට පක්ෂ නායකත්වය ලබාදිය යුතු බව පවසන පිරිසේ අඩුවක් ඇති බවත් විශේෂයෙන් එජාපයේ ක්‍රියාකාරී තරුණ කොටස් මෙන්ම මැදපෙළ නායකත්වය තුළ 2020 ජයග්‍රහණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ප්‍රමාණවත් නොවන බවට අදහසක් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එහෙත් මේ වන විටත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට පක්ෂ නායකත්වය ලබාදිය යුතු බවට පක්ෂයේ දෙවන පෙළ අතර මතයක් ඇති කිරීම සඳහා පක්ෂයේ ජේෂ්ටයින් පිරිස කටයුතු කරමින් සිටින බවත් ඊට මෑතකදී කැබිනට් අමාත්‍යධුරයේ වෙනසක් සිදුවූ අමාත්‍යවරයෙක් මුලිකත්වය ගෙන කටයුතු කරන බවද වාර්තා වෙයි.

අන්තර් කාලීන නායකත්වයට කිරිඇල්ල හෝ රංජිත්

තවද එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට පෙර අන්තර් කාලීන නායක තනතුරක් ඇති කර එය ලක්‍ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයාට හෝ රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාට පැවරීමේ යෝජනාව සම්බන්ධවද මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුව ඇති බවද වාර්තා වන අතර පක්ෂ මහ ලේකම්ධුරයේ වෙනසක් ඇතිකිරීම සම්බන්ධවද පක්ෂ ක්‍රියාකාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

රංජිත්ගේ හිතත් සජිත් ළඟ

කෙසේ වුවත් අන්තර් කාලීන නායකත්වය ලබාදීම සම්බන්ධව තම නම යෝජනාවී ඇති බව දැනගන්න ලැබුණු විට රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සිය හිතවතුන් හමුවේ "මේක අයිති වෙන්න ඕන සජිත් මහත්තයට" යනුවෙන් පවසා ඇති බවද වාර්තා වෙයි.

2018 වසරේ එජාපයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීම මෙම මස 31 වැනිදායින් අවසන්වීමට නියමිත නමුත් වාර්තා වන ආකාරයට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුත්ත සිදුකිරීම සඳහා තවමත් සුදානමක් නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න