ඉදිරියේදී පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් - ලංවිම

ඉදිරියේදී පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් - ලංවිම

දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශයට නිර්දේශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී පී.ඩබ්ලිව්. හෙන්දාහේවා  එම තීරණය විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහතා වෙත දන්වා එය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත.

පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා පැයක විදුලි කප්පාදුවක් සහ සවස 6 සිට රාත්‍රී 9 දක්වා උපරිම පැය වලදී විනාඩි 45ක විදුලි කප්පාදු දෙකක් ඒසේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

ඉල්ලුම සැපයුම අතර හිඟය මඟහරවා ගැනීමට නම් අවම වශයෙන් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කළ යුතු බවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පද්ධති පාලන) ආර් අලහකෝන් විසින් සති දෙකකට පමණ පෙර ලංවිම සාමාන්‍යාධිකාරීවරයාට දන්වා තිබූ බවද වාර්තාවේ දැක්වෙයි.

පූර්ව දැනුම්දීමකින් පසු නිශ්චිත වේලාවක යම් ප්‍රදේශයකට විදුලිය විසන්ධි කරන විට සැලසුම්කල විදුලි කප්පාදුවක් වන අතර නියමිත නොවන විදුලි කප්පාදුවලින් අදහස් වන්නේ ඉල්ලුමට සරිලන පරිදි සැපයුමට නොහැකි වූ විට, පද්ධතිය ස්වයංක්‍රීයව බිඳ වැටීමයි.

‘අපිට ඒක නවත්වන්න බැහැ.දැන් රටේ වෙන්නේ ඒකයි.ඒකයි අපි කලින්ම කිව්වේ පවතින යථාර්ථය තුළ නිල වශයෙන් නියමිත විදුලිය විසන්ධි කරන්න වෙනවා කියලා.ඒත් බලධාරීන් පියවර ගත්තේ නැහැ” යයි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

අද වන විට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් ජල විදුලියෙන් ද සියයට 30ක් ගල් අඟුරු බලයෙන්ද සියයට 22ක් තෙල්වලින්ද තවත් සියයට 8ක් සූර්ය හා සුළං බලයෙන්ද සපුරනු ලබයි. වර්ෂාව නොමැති බැවින් ජල පෝෂක ප්‍රදේශවල කුඩා ජල විදුලි බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොවේ.

ලංවිම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) රු. බිලියන 90 ක මුදලක් ගෙවා නැති අතර, ඩොලර්වලින් ණය පියවන්නේ නැත්නම් ඉන්ධන සැපයීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය සති තුනකට පෙර ලංවිමට දන්වා තිබුණි.

ජනවාරි (10) සිට , එනම් හෙට සිට දෛනික විදුලි කප්පාදුවක් අනුමැතිය ලබාදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසයි.

ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් සඳහා විදුලිය කප්පාදුවකට අනුමැතිය හිමිව තිබේ.

මෙම තත්ත්වය කොහෙත්ම ආණ්ඩුවට පාලනය කළ නොහැකි අතර විදෙස් සංචිත හිඟයේ සෘජු බලපෑම මීට හේතුව බව විචාරකයන් පවසයි.

ආර්ථිකය අර්බුදයට පත්වූයේ ගෝලීය වසංගතය හේතුවෙන් බව ආණ්ඩුව සඳහන් කළත් වෙනත් කිසිදු රටක් කොරෝනා හේතුවෙන් විදුලිය කප්පාදුවකට යොමුව ඇති බව වාර්තා නොවන බවත් දේශපාලන විචාරකයන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න