පාස්කු ප්‍රහාරය ගැන රතුඉර : තවත් ඩ්‍රාමා එකක් ?

පාස්කු ප්‍රහාරය ගැන රතුඉර : තවත්  ඩ්‍රාමා එකක් ?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 07 ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ රතු ඉර දේශපාලන විවාදය , පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ගෙනයන අරගලය මොටකළ රංගනයක්ද යන්න කෙරෙහි , සිවිල් සමාජ සංවිධාන ඇතුළු ක්‍රියාකාරීන්ගෙ අවධානය යොමුවෙලා.

විශේෂයෙන් වතිකානුවේ ශුද්ධ වූ අති උතුම් පාප් වහන්සේ පවා මේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන අරගලය සම්බන්ධයෙන් උනන්දුවෙන් සිටින පසුබිමක, සහ එළැඹෙන අප්‍රේල් 21 ජාත්‍යන්තර අවධානය ගනිමින් මේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට කටයුතු සූදානම් වෙමින් ඇති පසුබිමේ , පසුගිය 07 වෙනිදා විවාදය ඒ සියල්ල දියත්කර හැරීමේ ප්‍රයත්නයක් ද යන සැකය මේ පිරිස් මතුකරනවා.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මේ විවාදය සඳහා එක්වෙන්නේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර. විපක්ෂය පාර්ශ්වයෙන් මේ විවාදය සඳහා එක්වෙන්නේ, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යි.

මේ දෙන්නා මීට සූදානම් වෙලා තියෙන්නේ , කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ වෙනම කාමරයක් පවා වෙන්කර ගනිමින්.

ඉතිං මේ විවාදයට සූදානම් වෙන දෙදෙනාට අවශ්‍ය වැඩිදුර ලිපි ලේඛන ඇතුළු තර්ක , සාක්ෂි විශ්ලේෂණ ආදී තොරතුරු දෙන්න විවිධ පුද්ගලයන් ජයික් හිල්ටන් වෙත 7 වෙනිදා ඇවිත් තියෙනවා. විශේෂයෙන් සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර ඇතුළු පිරිසක් ඒ වෙත ගිහින් තියෙනවා.

හැබැයි ප්‍රශ්නය තියෙන්නේ පෙබරවාරි 07 වෙනිදා පස්වරු 12.30 ට විතර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ත් මේ ස්ථානයට ගිහින් තිබීම.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමති ගේ මේ හදිසි ජයික් හිල්ටන් පැමිණීමත්, ස්වර්ණවාහිනී රතුඉර සංවාදය පැවැත්වුණ ස්වරූපයත් විමර්ශනය කරමින් තමයි, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් මැදිහත්වී සිටින පාර්ශ්ව, මේ 7 වෙනිදා විවාදය ඩ්‍රාමා එකක්ද කියලා ප්‍රශ්නය යොමුකරන්නේ .

ඔවුන් වැඩිදුරටත් කියන්නේ , මේක ප්‍රසිද්ධියේ විවාද කරන්න පුළුවන් කරුණක් නෙවෙයි. ආගමික සංස්ථාව, රාජ්‍ය රහස්, ජාතික ආරක්ෂාව , හමුදාව සහ පොලිසිය , බුද්ධි අංශ, දේශපාලනයේ ඉහළම තන්ත්‍රය , ඇතුළු සංකීර්ණ සාධක රැසක් හරහා යන්න වෙන යුක්තිය සොයන ගමනක්.

එවැනි තත්ත්වයක් යටතේ විපක්ෂය පාර්ලිමේන්තු වරප්‍රසාද පවා නොමැති ප්‍රසිද්ධ නාලිකාවක විවාදයක් සඳහා යනවා කියන්නේ , දැලිපිහියෙන් කිරි කෑමට වඩා අවධානම් වැඩක්.

ඉතිං විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට නිදහසේ තමන් දන්න දේවල් අනාවරණය කරන්න ඉඩක් එතන නැති බව දැන දැන මේ වගේ විවාදයක් සඳහා ගියේ මොකද කියලත් මේ පිරිස් ප්‍රශ්න කරනවා.

ඒ වගේම ඔවුන් කියන්නේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න ගෙනියන සටන මේ වගේ ජනප්‍රිය විගඩම් නිසා අවුල් වෙනවා කියලා. මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබාගන්න සටන ජාත්‍යන්තර අවධානයක් දිනාගෙන තියෙන්නේ. ඒ පසුබිමේ විපක්ෂය නියෝජනය කරන , යම් දැනුම් තේරුමක් ඇති හරීන්ලා, මනූෂලාත් මේ දන්න කරුණු ටිකවත් ප්‍රසිද්ධියේ කියන්න බැරි , නාඩගම් මඩුවක, නාඩගම්කාරයන් වෙන්න යාමත් ප්‍රශ්නයක් බව ඔවුන් ප්‍රශ්න කරනවා.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න