පොහොර ඇතුව හෝ නැතුව ගොවියාගේ ආදායම 100% න් වැඩි කරනවා - ජනාධිපති

පොහොර ඇතුව හෝ නැතුව ගොවියාගේ ආදායම 100% න් වැඩි කරනවා - ජනාධිපති

ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්විණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන රැලි මාලාව සංවිධාන කරයි.

රැස්වීම් භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් විසින් පිළිගනු ලැබිණ.

මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට එදා කටයුතු කළාක් මෙන් දේශීය හා විදේශීය බලවේග එක්ව නැවත රජයේ ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරි පරම්පරාවේ සුබසිද්ධිය ඉලක්කගතව ක්‍රියාවට නැංවෙයි. එබැවින් කුමන බාධක පැමිණිය ද අඛණ්ඩව පෙරට යන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආණ්ඩුවට විරුද්ධව පාරට බැස වර්ජන කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතුය. රාජ්‍ය සේවකයන් රටත් ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු වේ. පිබිදෙමින් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ තැබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ජී.එල්. පීරිස්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන, කේ.පී.එස්. කුමාරසිරි යන අය උත්සව සභාව ඇමතූහ.

මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මැති ඇමතිවරු, නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න