කෝටි 3ක හඬපටයක් ලීක් වෙලා : කවුද ඒ ලොක්කා ?

කෝටි 3ක හඬපටයක් ලීක් වෙලා : කවුද ඒ ලොක්කා ?

රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ඉවත් කර නව විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, ආයතනය සතු වාහන දහයක් විකිණීම ඇතුළු කාර්යයන් කීපයකට ටෙන්ඩර් කැඳවා ඇති බවටද එම ටෙන්ඩර් පත්‍රිකාවල මිල ගණන් වෙනස් කර තමන්ට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් එම ආයතන ප්‍රධානියාගේ ළඟගම ගෝලයකුට මෙම රුපියල් කෝටි තුනහමාරක මුදල ලබාදී ඇති බවටද එම හඬ පටයේ සංවාදවලින් හෙළිවන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රශ්නගත ආයතන ප්‍රධානියාගේ ගිණුමකටද එම ව්‍යාපාරිකයා සෘජුවම ලක්ෂ පහළොව හා හතර හමාර බැගින් අවස්ථා දෙකකදී දහනව ලක්ෂ පනස් දහසක මුදලක් ලබාදී ඇති බවද එම හඬපටයෙන් හෙළි වී ඇතැයි වාර්තා වේ.

රුපියල් කෝටි තුනහමාර ලබාගත් බව කියන සේවකයා මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා නොකිරීමෙන් හා තමන්ගේ ගනුදෙනුව සිදුනොවීමෙන් ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා මෙම හඬපටය නිකුත් කර ඇති බවද දැන ගන්නට තිබේ.

මෙම සේවකයා එම ආයතනයේ ප්‍රවාහන අංශයේ හා ප්‍රවර්ධන අංශයේ කළමනාකරුවකු ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ ප්‍රශ්න ගත ආයතන ප්‍රධානියා විසින්ම බවද, එසේ සිදුකර තිබෙන්නේ එම සේවකයා මීට පෙරද මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වැඩතහනමට ලක්ව සිටියදී එය සමථයකට පත්කර බවද ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

මේ හඬපටය නිකුත් වීමත් සමග එම ආයතන ප්‍රධානියා ඔහුගේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක්ද යොදවාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. එහෙත් ආයතනයේ සිටින ආරක්ෂකයන් එයට ප්‍රමාණවත් නොවන නිසා තාවකාලිකව තුන්දෙනකු පමණක් ආරක්ෂාවට ලබාදිය හැකි බවට ආරක්ෂක අංශ ප්‍රධානියා එම නිලධාරියාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

ආයතනයේ සිටින ආරක්ෂකයන් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක සේවාවකින් පිරිසක් ගෙන්වා ගන්නා ලෙස ඔහු ආරක්ෂක අංශ ප්‍රධානියාට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අප කළ විමසීමකදී එම ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

-lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න