Language Switcher

V2025

සජිත් සර්ව පාක්ෂික සමුළුවට නොගියේ : රනිල්ගේ ප්‍රතිරූපයට බයේද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීමක් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වර්ජනය කර ඇත්තේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් නිසා බව අනාවරණය වෙයි.

මේ බව ජාතික පුවත්පතක "රාජ්‍ය රහස්" හෙළිදරව් කරන දේශපාලන ගොසිප් විශේෂාංගයක වාර්තා කර ඇත.

එහි සඳහන් ආකාරයට අදාළ සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නැංවෙනු ඇති බවට සජබ ට වාර්තා වී ඇත. එහිදී සජබ කොන්කරනු ඇති බවටත් තොරතුරු ලැබී ඇත.

කොවිඩ් වසංගතය පැමිණි අවස්ථාවේ දී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අවස්ථාව සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූ නමුත් ප්‍රතිරූපය නැංවුනේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ බවත් දැනගෙන ඇත.

පසුව මේ ගැන පැරණි වීඩියෝ විමර්ශනය කිරීමට වෙනම කණ්ඩායමක් පත්කිරීමටත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.

ඔවුන් වාර්තා කර ඇත්තේ ද කොවිඩ් වසංගතය අවස්ථාවේ පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිරූපය නංවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ පුවත්පත් වාර්තාවේ කොටස පහත දැක්වෙයි.

 කලින් කළා වගේ රනිල් පුම්බයිද? වීඩියෝ බලන්න වෙනම ටීම් එකක්!

මීට පෙර පැවැති සර්වපාක්ෂික සමුළුවේදීද මෙවැනිම ආකාරයේ සිදුවීමක් සිදුවූ බව එහිදී කතා කළ බොහෝ දෙනා සජිත්ට දැනුම්දී තිබිණි. ඉකුත් කොරෝනා සමයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සර්වපාක්ෂික සමුළුව පැවැති අතර, ඊට සජබ නායකයා සහභාගි වුවත්, රනිල්ගේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට එහි මාධ්‍ය ආවරණ කටයුතු සිදුකොට තිබූ බව ඉන් කියැවිණි. ඒ අනුව සජිත් කළේ එදින රාත්‍රියේ විශේෂ කණ්ඩායමක් පත්කොට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්වපාක්ෂික සමුළුවේ විකාශය කළ රූපරාමු ගෙන්වාදෙන ඒවා විමර්ශනය කරන ලෙස උපදෙස් ලබා දීමය. ඒ අනුව එම කණ්ඩායම වහාම අදාළ දිනයේ සියලුම රූපවාහිනී විකාශයන්වල රූප රාමු ගෙන්වාගෙන ඒවා විකාශය කළ ආකාරය සියුම්ව නිරීක්ෂණය කිරීමට පියවර ගත්හ. ඒ අනුව ඔවුන්ටද තහවුරු වූයේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ආණ්ඩුවට හිතවත් පෞද්ගලික මාධ්‍ය පවා රනිල්ගේ ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට පුවත් විකාශය සිදුකර ඇති බවය. ඒ අනුව ඊට අදාළ වාර්තාව සකස් කළ එම කණ්ඩායම එදිනම රාත්‍රියේ සජිත්ට එය ලබාදීමට පියවර ගත්හ.

ප්‍රතිරූපය ඉබේ හදන්න බෑ : අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමත් නායකත්ව ලක්ෂණයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , දේශපාලන පක්ෂ නායකයන් එකට විවෘතව අදහස් හුවමාරු කරගන්නා අවස්ථාවක එහි සම්පූර්ණ අවධානය අත්පත් කර ගැනීමත් නායකයකු සතු ගුණ ලක්ෂණයක් බවයි.

එහිදී වීඩියෝ කෝණ වලට වඩා දක්වනු ලබන අදහස් තීරණාත්මක බවත් වීඩියෝ කොණ හෝ වෙනත් තාක්ෂණික උපාය උපක්‍රම අතික්‍රමණය කිරීමට වැදගත් වන්නේ දක්වනු ලබන අදහස් සහ අන්තර්ගතය බවත් ඔවුන් පවසයි.

පසුගිය 23 වනදා පැවති සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ කැමරා කෝණ වලට වඩා හිටපු අග්‍රාමාත්‍යවරයා රටේම අවධානය දිනා ගත්තේ ලැබුණු අවස්ථාව උපයෝගී කරගෙන නායකයකු ලෙස දැක්වූ දේශපාලන පරිණතභාවය හරහා බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය හෝ ආණ්ඩුවක්, විශේෂයෙන් රාජපක්ෂ පාලනයක් කිසිම විටෙක වෙනත් දේශපාලන පක්ෂ නායකයකු ඔසවා තැබීමේ සැළැස්මක් යන්න විහිලුවකට වඩා වැඩි දෙයක් නොවන බවයි. විශේෂයෙන් ආණ්ඩුවත්, රාජපක්ෂවරුන් ගැනත් ජනතාව අතර බලවත් අප්‍රසාදයක් මතුව ඇති පසුබිමක එවැනි විහිලු විපක්ෂ නායක විශ්වාස කරයි නම් එය අදේශපාලනික බව ප්‍රදර්ශනය කිරීමක් බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.