Language Switcher

V2025

සජබ සන්ධානයේ : මනෝ පාර්ශ්වය රනිල්ට !

සමගි සන්ධානයේ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවට සහය දැක්වීමට තීන්දු කර තිබෙන බව වාර්තා වෙයි .

ඒ බව මේ වන විට ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ , පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය විසිනි .

වඩාත් විශේෂ සිදුවීම වන්නේ , එම සන්ධානය ආණ්ඩුවේ තනතුරු නොගන්නා නමුත් , ආණ්ඩුව පෙරළීම සඳහා, ගනුලබන කිසිදු ප්‍රයත්නයකට , සහය නොදෙන ස්ථාවරයක් ගෙන තිබීමයි .

තම ස්ථාවරය වැඩිදුරටත් පැහැදිලි කරමින්, ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය පවසන්නේ පොදු ජනතාවගේ ජීවනෝපාය ගැටලුවලට අවම විසඳුම් සෙවීමට නව රජයට කාලය අවශ්‍ය බව පිළිගෙන , ඊට අනුව කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසන්නේ , ආණ්ඩුවට සම්බන්ධ වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ට ආරාධනා කළ නමුත් , තමන් එය ආචාරශීලීව ප්‍රතිකේෂ්ප කළ බවයි.

එහෙත් පක්ෂ දේශපාලනය ඉදිරියට ගෙන කෑකෝගසා බාධා කිරීමට කිසිම අදහසක් නොමැති බවත් ඔහු සඳහන් කළේය .

මේ හමුවේ තම අපේක්ෂාව වන්නේ , ජීවනෝපාය අර්බුදයේ අතරමංව සිටින ජනතාව මුදා ගැනීමට ඔහුට හැකි සියලුම දේ කිරීමට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව සැලසීම බවත් ඔහු පවසයි .

ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධාන, නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් තවදුරටත් පැවසුවේ, රනිල් වික්‍රමසිංහ, යනු තමන්ගේ හිටපු අග්‍රාමාත්‍යවරයා බවත් ඔහුගේ ශක්තිය හා දුර්වලතා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තමන් සතු බවයි.

නමුත් අග්‍රාමාත්‍යවරයා ගේ දුර්වලකම ගැන මේ අවස්ථාවේ කතා කර, ගැලරි දේශපාලනය කිරීමට දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ කිසිවකු සූදානම් නොමැති බවත් ඔහු සඳහන් කළේය .

ජාත්‍යන්තර සන්නිවේදන සම්බන්ධයෙන්, රනිල්ගේ ශක්තිය මත රටට සෙතක් වෙනවානම් තමන් එය හදවතින්ම පිළිගන්නා බවත් ඔහු පවසයි .

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

"අද රටේ කෑම නැහැ. බෙහෙත් නැහැ. ගෑස් නැහැ. ඉන්ධන නැහැ. පොහොර නැහැ. විදුලිය නැහැ. මේවාට අවම විසඳුම් හෝ ඔහු දිය යුතුයි. අගමැතිතුමා ඒක කරපුදෙන්. ඒකට, වගකිව යුතු පක්ෂයක් විදියට අපි ඉඩ දෙමු. එබැවින් අද පවතින සන්දර්භය තුළ, පාර්ලිමේන්තුවෙ ඔහුගේ රජය කකුලෙන් ඇදෙන කිසිදු උත්සාහයකට අපි සහාය දෙන්නේ නැහැ."

 "රටේ ආර්ථික ප්‍රශ්න තිබෙනවා. අපේ රට ගත්ත ණය නිසි කලට ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා. එනිසා ණය දීපු අය සමඟ කතා කරලා ණය ආපසු ගෙවීමේ කාලසටහන් නැවත සකස් කළ යුතුයි "

"අත්‍යවශ්‍ය අවශ්‍යතා ලබා ගැනීමට අමෙරිකානු ඩොලර් නැහැ. මේ සඳහා මිත්‍ර රටවලින් ණය ආධාර සහ මුදල් හුවමාරු ආධාර ලබා ගත යුතුයි. ඉන්දියාව දැනටමත් මේවා ලබා දෙමින් ඉන්නේ. මේවා තව තවත් වැඩි කළ යුතුයි. දැනටමත් සහාය දෙන මිත්‍ර රටවල්වල සම්මුතියක් (Consortium) පිහිටුවීමට අගමැතිවරයා උත්සාහ කරමින් ඉන්නවා. මේක හොඳයි. බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණ විය යුතුයි."

එසේම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර 19 බලාත්මක කිරීම , ජනාධිපති ගෝඨාභය ගේ ඉල්ලා අස්වීම සඳහා කාලසටහනක් සැකසීම, මෙන්ම රාජපක්ෂවරුන් ට රටේ ජනතාව අතර ඇති විරෝධය තේරුම් ගෙන අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ යුතු බවත් ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය අවධාරණය කර සිටියි.

මේ සමග සමගි ජනබලවේගය පක්ෂයේ තවත් මන්ත්‍රී කණ්ඩායමක්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට වත්මන් අර්බුදය විසඳීමට , සහය දක්වන ආකාරය සම්බන්ධයෙන් අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් සිදුවෙමින් තිබෙන බවත් වාර්තා වෙයි.