ආසයි බයයි හර්ෂ : සභාපති තනතුරක් පතයි !

ආසයි බයයි හර්ෂ : සභාපති  තනතුරක් පතයි !

සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට තමන් මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව පවසමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත.

අදාළ සටහනේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

"මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි.

කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු.

මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක් මගින් ආර්ථික පුනර්ජීවන සැලසුමක් සකස් කිරීමට නායකත්වය ලබාදීමටයි. පසුව එම සැලසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීමට මා අදහස් කරමි. මේ අවස්ථාවේ ජනතා මතය වන්නේ සර්ව පාක්ෂික මැදිහත්වීමක් මගින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වන අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය තුළින් ඒ ජනතා අපේක්ෂාව ඉටුකළ හැකියැයි මා විශ්වාස කරමි.

මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකිය. ඒ තරමටම මෙම කාරක සභාව බලවත්ය. ජනතා මතය සුරකිමින් මේ ආකාරයෙන් රටට මේ අවස්ථාවේ මාගේ සේවය ලබාදීමට මා අදිටන් කරගෙන සිටිමි."

ආසයි බයයි නේද හර්ෂ ?

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ගේ ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , මුදල් කාරක සභාවේ සභාපති වනවා නම් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම කටයුතු කළ ආකාරයට ප්‍රතිඥාවක් දියයුතුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ පැවසීය .

" හර්ෂ ද සිල්වා සජිත්ගේ කතා අහලා පම්පෝරි ගැහුවට දැන් ආණ්ඩුවට එකතු වෙන්න ඕන වෙලා ඉන්නේ . නමුත් ඔවුන් ආණ්ඩුවට සහය දෙන බව ප්‍රසිද්ධියේ කියන්න ඕන . කොහොමටත් ආර්ථික අර්බුදය විසඳීමේ අභියෝගය රනිල් වික්‍රමසිංහ අගමැති භාරගෙන තියෙන්නේ . ඔතන හර්ෂට අලුතෙන් දෙන්න අදහස් නෑ . පැහැදිලිව ආර්ථිකය ගැන වුණත් , විසඳුම් ගැන වුණත් , රනිල්ට අඩුවෙන් මිස හර්ෂ දන්න වැඩි දෙයක් නෑ .

1990 සුවසැරිය පිහිටුවීම හර්ෂගේ වැඩක් වගේ පිම්බුවට, ඒක රනිල්ගේ අදහසක්. ඔය දැන් හර්ෂ එන්නෙත් එහෙම ගමනක්. රනිල්ගේ වැඩ වලින් ලකුණු ගන්න. මොකද හර්ෂ දන්නවා , රනිල්ගේ ප්‍රොජෙක්ට් ඉස්සුවට රනිල් සටනට එන්නේ නෑ කියලා .

ඒ නිසා අඩුම තරමේ ගම්මන්පිල , විමල්ලා , තරම්වත් අවංක වෙලා, ආණ්ඩුවේ වැඩ වලට සහය දක්වන පදනමින් එන්න ඕන . ආවත් හොඳ මීටරෙන් මෙයාලා ගැන ඉන්න ඕන .

අපි අවධාරණය කරලා කියන්නේ , අග්‍රාමාත්‍ය ලෙස රනිල් පත්වීමට එකඟ නැති මිනිස්සු , ඒ ආණ්ඩුව සාර්ථක වෙන්න වැඩ කරයිද ? වැඩ අවුල් කරයිද ? අනික හර්ෂලා එන්නේ නෑ කියලා වීර කතා කිව්වේ. දැන් එයාලා එන්නේ නෑ කියලා , රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩේ නවත්තලා නෑ . "

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න