පොහොට්ටු ප්‍රහාරය මැද : අනුර ගේම ඉල්ලයි !

පොහොට්ටු ප්‍රහාරය මැද : අනුර ගේම ඉල්ලයි !

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඔහුගේ කතාවට දිගින් දිගටම බාධා එල්ල කිරීම හේතුවෙන් අද (18) පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

එහිදී පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් " මිනී මරුවා මිනීමරුවා. ඔයා තමයි ඔක්කොම කළේ" යනුවෙන් විරෝධය දැක්වීය .

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ යනු මෙවැනි ආකාරයේ තර්ජනවලට බියවන පක්ෂයක් නොවන බව පැවසීය .

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සම්බන්ධ නම් ඒ සම්බන්ධයෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවද ඔහු පැවසූවේය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසුවේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හාරසිය පනස් දෙනා ගෙන් එකසිය පනස් දෙනකුම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව පොලිස්පතිවරයා දන්වා ඇති බවය.

මෙහිදී ඊට ප්‍රතිචාර දැක්වූ අනුර දිසානායක මන්ත්‍රීවරයා එසේනම් ඒ අයට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබාදී ඇත්තේ පොලිස්පතිවරයා විය හැකි බව පැවසීය .

තමාගේ නිවෙසද 1988දී ගිනිගෙන විනාශවූ බව ඔහු සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙහිදී පැවසුවේ තමාගේ නිවෙසට ගිනි තැබීමට පැමිණි පිරිසේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකුද සිටි බවය.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට විවිධ චෝදනා කරමින් බාධා කරනු දකින්නට ලැබිණ.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ සියලු ප්‍රශ්න ඇතිවුණේ තමන්ගෙ පාඩුවෙ අරගල කරපු පිරිසට මැරයන් යොදා පහරදීම නිසා බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න