Language Switcher

V2025

පුංචි ආණ්ඩුවල තනතුරු අර්බුදයක් : පොහොට්ටුව ලෝක අමාරුවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලි බහුතරය (50%) ලබා ඇති පළාත් පාලන ආයතන 5 කට තවමත් සභාපති/උපසභාපති නම් කර නොමැතිවීම හේතුවෙන් ඡන්ද විමසීමෙන් දින 50 කට පසු ද ගැසට් පත්‍ර‍ය මුද්‍ර‍ණය කිරීමට මැතිවරණ කොමිසමට නොහැකිවී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය මේ බව සඳහන් කරන අතර ඊට අනුව විල්ගමුව, ආනමඩුව, බලපිටිය, බෙන්තොට හා නියාගම ප්‍රාදේශීය සභා සදහා පළාත් පාලන ආයතන වෙනුවෙන් සභාපති/උපසභාපතිවරුන් පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් සමත්ව නැත.

පළාත් පාලන ආයතන සඳහා ප්‍ර‍ධානීන් පත් කිරීම දේශපාලන පක්ෂයේ ලේකම්වරයා වෙත පැවරෙන වගකීමක් වන බව සඳහන් කරන කැෆේ නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කහවත්ත ප්‍රාදේශීය සභාව සහ උතුරේ පලාත් පාලන ආයතන ගණනාවකට අතිරේක ලැයිස්තුවෙන් හිමි විය යුතු මන්ත්‍රීවරුන් ද, ඇල්ල ප්‍රාදේශීය සභාවට නම් කළ පුද්ගලයා මිය යාම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට ද අදාල නම් ද තවමත් ගැසට් කර නොමැති බවය.

එසේම අප්‍රේල් මස 16 ට පෙර පළාත් පාලන ආයතන සදහා සභාපති/ උපසභාපතිවරුත් තෝරා පත් කර ගත යුතුව ඇති බවත් මෙම සතිය පුරා සරළ බහුතරයක් පමණක් පවතින පළාත් පාලන ආයතන 65 කට වැඩි සංඛ්‍යාවක සභිකයින්ගේ ඡන්දයෙන් සභාපති/ උපසභාපතිවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතය බවත් එහි සඳහන්ව තිබේ.

තවද පළාත් පාලන ආයතන 170 කම 50%ක බහුතර බලයක් රහිත වන අතර එයින් 157 ක වැඩි බලය පොහොට්ටුවට සහ ආයතන 13 ක් එජාපයට හා ද්‍ර‍විඩ ජාතික සන්ධානයට හිමිව තිබෙන බව සඳහන් කරන කැෆේ නිවේදනය වැඩිදුරටත් සඳහන් කරන්නේ සරළ බහුතරයක් සහිත ආයතන ගණනාවක බලය පිහිටුවීම සදහා පොහොට්ටුව හා එජාපය බලවත් උත්සහක් දරන බවය. එසේම පළාත් පාලන ආයතන වල බලය ලබා ගැනීම වෙනුවෙන් අල්ලස් ලබාදීම හා වාහන ඇතුළු වෙනත් පහසුකම් ලබාදීම පිළිබද චෝදනා/පැමිණිලි ගණනාවක් ද වාර්තාවී ඇති බව කැෆේ නිවේදනයේ සඳහන්ව තිබේ.