Language Switcher

V2025

රතන හිමිගෙත් ඔළුව නරක වෙලා : දැන් තියෙන්නේ මෛත්‍රී මහින්ද සම්මුතියක් - බාහු කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අතුරලියේ රතන හිමියන් කරන ඇතැම් ප්‍රකාශ හමුවේ එම හිමියන්ගේ ඔළුව නරක්වී තිබෙන බවක් පෙනෙන බව වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරයි.

ද්‍රවිඩ සන්ධානය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ජන්දය භාවිත කලයුතු බවට අතුරලියේ රතන හිමියන් සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධව මාධ්‍ය විසින් වික්‍රමබාහු මහතාගේ අදහස විමසා සිටි අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කර සිටියේ ඇතැම් අවස්ථා වලදී රතන හිමියන් ඉතා වැදගත් අදහස් දක්වන නමුත් තවත් අවස්ථා වලදී අපබ්‍රංශ කතා කියවන බවය.

එසේම විශ්වාසභංග යෝජනාව හමුවේ අනෙක් සෑම පාර්ශවයකට සේම ද්‍රවිඩ සන්ධානයට තමන්ට අවශ්‍ය තීන්දුවක් ගැනීමේ නිදහසක් තිබෙන බවත් ඊට බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද ඔහු පවසයි.

දැන් තියෙන්නේ මෛත්‍රී - මහින්ද ජාතිවාදී සම්මුතියක්

මේ අතර රටේ මතුව තිබෙන දේශපාලන වාතාවරණය සම්බන්ධව විග්‍රහ කරමින් වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන සම්මුතීන් කඩාදමමින් කටයුතු කිරීම තුළ තවදුරටත් රනිල් - මෛත්‍රී සම්මුතිය බිඳ වැටී ඇති බවය.

ඒ වෙනුවට මේ වන විට ජාතිවාදය මුල්කරගත් මෛත්‍රී - මහින්ද සම්මුතියක් බිහිවී ඇති බවත් ඒ අනුව ජනාධිපතිතුමාගේ කණ්ඩායම පළාත් පාලන ආයතන වල බලය පොහොටුට්වේ අයට ලබාදීමට සහය දෙමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

එසේම එම නව සම්මුතිය තුළ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන වල පවා බලය උදුරාගෙන යමින් සිටින බවත් ඒ සම්බන්ධව මුස්ලිම් සහ දෙමළ මන්ත්‍රීවරුන් හොඳ අවධානයකින් සිටිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත.

මේ මොහොතේ වමේ කාර්යභාරය

මේ මොහොතේ වාමාංෂිකයන් හට විශාල බලයක් මෙහෙය විය නොහැකි බවත් ජාතික සමගිය ඇති කරගෙන දුෂ්ඨ වු ජාතිවාදි කෝලහාල මර්දනය කරමින් ගමනක් යාමට නම් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමඟ තිබෙන බලවේගය ආරක්ෂා කර ඉදිරියට ගත යුතු බවද ඔහු පවසයි.

මේ මොහොතේ ලිබරලි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදි බලවේග ක්‍රීයාත්මක වී ජාතිවාදි දුෂ්ඨ ක්‍රියා මාර්ග නවතා දැමිය යුතු බවත් ඒ වෙනුවෙන් සුළු ජාතික මන්ත්‍රිවරුන් විශ්වාස භංගයට එරෙහිව තම ජන්දය භාවිතා කිරිමෙන් ජාතීන් අතර අලුත් සම්මුතියක් ඇති කර ගැනීමට අවකාශ නිර්මාණය කරගත යුතු බවත් ඒ හරහා රටට විශාල ප්‍රගතියක් අත්කර ගත හැකිබවද ඔහු පෙන්වා දෙයි.