විශ්වාසභංගය ගැන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් අද සහ හෙට

විශ්වාසභංගය ගැන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් අද සහ හෙට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවට අදාළ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපතිගේ මූලිකත්වයෙන් ශ්‍රීලනිපය

ඒ අතුරින් තීරණාත්මක සාකච්ඡා තුනක් අද දිනයේ පැවැත්වෙයි. ඒ එක් තීරණාත්මක සාකච්ඡාවක් වන්නේ අද ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන බවට සඳහන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමතිවරුන්ගේ සාකච්ඡාවයි.

වාර්තා වන ආකාරයට එහිදී විශ්වාසභංගයට අදාලව මෛත්‍රී පාර්ශවයේ පොදු තීන්දුව ගැනීමට නියමිත අතර ඒ සඳහා එම පාර්ශවය නියෝජනය කරන සියළුදෙනාට පැමිණීම අනිවාර්යය කර ඇති බවද වාර්තා වෙයි.

අගමැතිගේ මුලිකත්වයෙන් එජාපය

එසේම තවත් අතිශය තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරු 3.00 ට අරලියගහ මන්දිරයේ ආරම්භවීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුවන එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහභාගීවීමට නියමිතව ඇත.
මෙහිදී මේ වන විටත් විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙන බව සඳහන් එජාප පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ ඒ පිළිබඳ සෘජුව විමසා බැලීමේ සුදානමක් ඇති බවද වාර්තා වෙයි.

සම්බන්දන්ගේ මුලිකත්වයෙන් ද්‍රවිඩ සන්ධානය

අනෙක් තීරණාත්මක සාකච්ඡාව වන්නේ ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවයි. එහිදී විශ්වාසභංගය සම්බන්ධව ද්‍රවිඩ සන්ධානයේ අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත.

TNA සහය අගමැතිට ?

මේ වනවිටත් වාර්තා වන තොරතුරු වලට අනුව ද්‍රවිඩ සන්ධානය විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇත. ඒ පිළිබඳ බොහෝ මාධ්‍ය වාර්තා පළවූ නමුත් ද්‍රවිඩ සන්ධානය මෙතෙක් සිය නිල ස්ථාවරය හෙළිකර නොමැත.

එහෙත් දිගින් දිගටම අතුරලියේ රතන හිමියන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද්‍රවිඩ සන්ධානය සම්බන්ධව පළකරන අදහස් අනුව පැහැදිළි වන්නේ ද්‍රවිඩ සන්ධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙනු ඇති බවය. මේ වන විට ද්‍රවිඩ සන්ධානය සතුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුර 16ක් තිබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් රනිල් වික්‍රමසිංහට විශ්වාසභංගය පරාජය කිරීමට එම මන්ත්‍රීධුර 16 අතිශය වැදගත් බව විචාරක මතයද වී තිබේ.

මුස්ලීම් කොංග්‍රසයත් අද රැස්වෙයි

එසේම විශ්වාසභංග යෝජනාව සම්බන්ධව මුස්ලීම් කොංග්‍රසයේ තීන්දුව ගැනීමේ සාකච්ඡාවද අදට යොදාගෙන ඇත. එම පක්ෂය අදාළ සාකච්ඡාව සඳහා දින යොදාගෙන තිබුණේ ඊයේ වුවත් එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ නොවැලක්විය හැකි හේතුවක් මත ඊයේ එය පවත්වන්නට නොහැකි වූ බවය.

ඒකාබද්ධය හෙට

තවද ඒකාබද්ධ විපක්ෂය හෙට (02) විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් ඔහුගේ විජේරාම නිල නිවසේ යොදාගෙන තිබෙන අතර විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම වෙනුවෙන් තීරණාත්මක කරුණු ගණනාවක් එහිදී අවධානයට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න