අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එසේ ඉල්ලා අස්වීමක් සිදුවන්නේ නැත්නම් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජන්දය ප්‍රකාශ කලයුතු බවට ශ්‍රීලනිප ය ඒකමතික තීන්දුවක් ගත්බව වාර්තා වෙයි.
ඊයේ (02) රාත්‍රියේ නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ 42 ම මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර ජනාධිපති මෛත්‍රීපාල සිටිසෙන වෙතද දැනුම්දුන් බවත් එය අද (03) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතද දැනුම්දීමට නියමිත බවද වාර්තා වෙයි.
නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සම්මතකරගත් මෙම යෝජනාව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ද තහවුරු කර සිටියි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ නිදහස් පක්ෂයේ පිරිසක් විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුව ආරක්ෂා කල යුතුය යන මතයේ දැඩිව සිටින බවය.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවීම හරහා ජනාධිපතිවරයාට කිසිඳු හානියක් සිදුනොවන බවට තර්ක අනෙක් පාර්ශවය ඉදිරිපත් කළත් ඒ සියල්ල රාජපක්ෂවරුන් පක්ෂයේ බලය අල්ලනතෙක් පමණක් බවත් එජාපයේ සහය ජනාධිපතිවරයාට නැතිවන පළමු අවස්ථාවේ ජනාධිපතිවරයා තනිවන බවද ඔවුන්ගේ අදහස වී ඇත.
එවැනි පසුබිමක් මතුවීමේ අවධානම කොහෙත්ම ප්‍රතික්ෂේප කළ නොහැකි බැවින් විශ්වාසභංගයේ ජන්ද විමසීමේ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහය දිය යුතු බවට වන ස්ථාවරය කිසිඳු වෙනසක් සිදුනොකළ යුතු බවට දැඩි ස්ථාවරයක එම පාර්ශවය සිටින බවද වාර්තා වෙයි.

