Language Switcher

V2025

ඉන්ධන අර්බුදය ගැන : නීතිඥ සංගමයෙන් සැර නිවේදනයක් !

මෙම මොහොතේ දී, රටේ යහපත උදෙසා මහජනයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සහ අනෙකුත් අදාළ සියලු දේශපාලනඥයන් වගකීම භාර ගත යුතු බව අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත්කර ඇත .

සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් මහජනයා වෙත ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ද රජය අසමත් වී ඇති බවත් එහි සඳහන් කර ඇත .

එසේම ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම පිළිබඳ අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද නිවේදන මාලාව මගින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තිබෙන අවුල්සහගත තත්ත්වය සහ නිල නිවේදන සම්බන්ධයෙන් තිබෙන මහජන අවිශ්වාසය නිරූපණය වන බවත් එහි සඳහන් ය.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මගින් සිදුවන බලපෑම අතිමහත් වන තත්ත්වයක් තුලදී රජය විසින් නිසි කලට නිවැරදි සහ විශ්වසනීය තොරතුරු මහජනයාට සැපයීමට අසමත් වීම පිළිබඳවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර ඇත .

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

ඉන්ධන හිඟය සහ එමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ නිවේදනය !

වර්තමාන ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵල හේතුවෙන් නිර්මාණය වී තිබෙන, විශේෂයෙන්ම ඉන්ධන හිඟය ඇතුළු විවිධ හිඟයන් ශ්‍රී ලංකා රජය විසින් කළමනාකරණය කරනු ලබන ආකාරය සහ එමගින් ජන ජීවිතවලට ද, රටේ පරිපාලනයට ද, ව්‍යාපාර පවත්වාගෙන යාමට සහ අවසානයේදී ප්‍රජාවේ ස්ථාවරත්වයට ද සිදුවී තිබෙන අහිතකර බලපෑම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ.

එමගින් රටේ නීතිය සහ සාමයද පිරිහීමට ලක් වී ඇත.

ඉන්ධන සැපයීම පිළිබඳ බලධාරීන්ගේ පුස් නිවේදන !

ඉන්ධන සැපයුම පිළිබඳ බලධාරීන්ගේ නිවේදන අනුපිළිවෙලින් පහත දක්වා තිබේ:

ජූනි 17දා: ඔක්ටේන් 92 ඉන්ධන බැරල් 300,000ක් ආනයනය කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපි විවෘත කර තිබෙන බව නිවේදනය කරන ලදී.

ජූනි 19: පෙට්‍රල් සහ ඩීසල් වෙනුවෙන් ඩොලර් මිලියන 90ක ණයවර ලිපි විවෘත කර ඇති බව ද එම තොග අනුපිළිවෙලින් ජූනි 23 සහ 24 දිනවල ලැබීමට නියමිත බව ද නිවේදනය කරන ලදී.

ජූනි 23: මෙට්‍රික් ටොන් 40,000ක ධාරිතාවකින් යුක්ත ඉන්ධන නෞකාවක් ළඟාවීම එක් දිනකින් ප්‍රමාද වන බව නිවේදනය කරන ලදී.

ජූනි 24: කලින් දිනයේ ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් රැගත් නෞකාව ළඟාවීම තවදුරටත් ප්‍රමාද වන බව සැපයුම්කරු විසින් ලංකා ඛනිජතෙල් සංස්ථාවට දැනුම්දී ඇති බව ද, එම නෞකාව පැමිණෙන දිනය එම දිනය ඇතුළතදීම දැනුම් දෙන බව ද නිවේදනය කරන ලදී.

ජූනි 25: ‘බැංකු සහ සැපයුම්’ හේතු මත ඉන්ධන සැපයුම සිදුකළ නොහැකි බව සැපයුම්කරු දැනුම් දී තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සන්නිවේදනය කළේය. ඉදිරි සතිය තුළදී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් නිර්මාණය නොකරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. (ඔහු එම ඉල්ලීම සිදුකළේ ඒ හා සමානම ඉල්ලීමක් කර දින කීපයකට පසුවයි. කෙසේ වෙතත්, එම අතරතුර කාලයේදී ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සපයන ලදී.)

ඇමතිත් රැවටුනාද ?

ඉන්ධන රැගත් නෞකා නැවත පැමිණෙන දිනය ලංකා ඛනිජතෙල් සංස්ථාවට ස්ථිරව පැවසිය නොහැකි බව ද ඇමතිවරයා පැවසීය. මීළඟ බොරතෙල් තොග ළඟාවන තෙක් තෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය ද නතර කරනු ලබන බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව, 2022 ජූනි 26දා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් හෙළිදරව් කරනු ලැබූ තොරතුරු අනුව පැහැදිලිව පෙනී යන්නේ අර්බුදය පිළිබඳ මහජනයා නිසි පරිදි දැනුවත් කිරීමකින් තොරව ඔවුනට ව්‍යාජ බලාපොරොත්තු ලබාදී තිබෙන බවත්ය. ඊළඟ ඉන්ධන නෞකාව ළඟාවන්නේ කවදාදැයි නොදන්නා බව හෙළිදරව් වූ අතර, එවැනි අවිනිශ්චිත වාතාවරණයක් මැද රජය සතුව තිබුණු ඉන්ධන සංචිත ඊට වඩා විධිමත් ආකාරයෙන් කළමනාකරණය නොකළේ මන්දැයි ද පැහැදිලි කර නැත.

බලධාරීන් ජනතා අවිශ්වාසය වැඩි කළා !

බලධාරීන් විසින් නිකුත් කරන ලද නිවේදන මාලාව මගින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තිබෙන අවුල්සහගත තත්ත්වය සහ නිල නිවේදන සම්බන්ධයෙන් තිබෙන මහජන අවිශ්වාසය නිරූපණය වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මගින් සිදුවන බලපෑම අතිමහත් වන තත්ත්වයක් තුලදී රජය විසින් නිසි කලට නිවැරදි සහ විශ්වසනීය තොරතුරු මහජනයාට සැපයීමට අසමත් වීම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටියි.

ඉන්ධන හල් අසල අසහනය සහ ප්‍රචණ්ඩත්වය !

දවසින් දවසම දහස් ගණන් ජනයා පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ලබාගැනීම සඳහා රටපුරා ඉන්ධන පිරවුම්හල් අසල රැස්වන්නට යොමුවෙති. ඔවුන්ට ඉන්ධන ලබාගැනීම සඳහා පැය 24කට වඩා කාලයක් බලාසිටීමට සිදුවන අතර එමගින් අති විශාල වශයෙන් කාලය හා ඵලදායීතාව නාස්ති වේ. ඉන්ධන පෝලිම් හේතුවෙන් මහජනයා අතර අසහනය සහ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වී තිබෙන අතර ප්‍රජාවේ විවිධ අංශ අතර අවිශ්වාසය වර්ධනය වී තිබේ. ඉන්ධන පිරවුම්හල් අසල කලබලකාරී තත්වයන් සහ මහජනයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ නිළධාරීන් අතරද ගැටුම් නිර්මාණය වී තිබේ.

ඉන්ධන ජාවාරම් මඩින්න ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත්තාද ?

පෝලිම්වල රැඳීසිටියදී මියයන මිනිසුන් සංඛ්‍යවද වැඩිවී තිබේ. අධික මිලට ඉන්ධන අලෙවි කරන කළුකඩ පිළිබඳ වාර්තා පළවී තිබෙනමුත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් එවැනි ජාවාරම් මැඩලීම සඳහා එතරම් ප්‍රයත්නයක් දරා නැත.

ජුලි මාසයේ පළමු සතියේ ළඟාවනු ඇතැයි අපේක්ෂිත ගෑස් නෞකාවක් බලාපොරොත්තුවෙන් දීර්ඝ හිස් ගෑස් සිලින්ඩර පෝලිම් වීදි අයිනේ නිර්මාණය වී තිබෙනු දැකිය හැකිය.

ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම ඇතුළු ආර්ථිකයේ සියලුම අංශවලටද මේ මොහොතේ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන අපනයනවලට ද ඉන්ධන හිගය අහිතකර ලෙස බලපා ඇත. එමගින් යුක්තිය පසිඳලීමට පවා ඍණාත්මක බලපෑමක් සිදු වී ඇත.

සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් මහජනයා වෙත ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ද රජය අසමත් !

එසේම, සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් මහජනයා වෙත ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ද රජය අසමත් වී තිබේ.
කෙටි කාලීනව, අඛණ්ඩ ඉන්ධන සැපයුමක් තහවුරු කිරීම සඳහා සකස්කරන ලද සැලසුම් පිළිබඳව කාලීනව හා ප්‍රමාණවත් අන්දමින් මහජනයාට කඩිනමින් තොරතුරු ලබා දෙන ලෙස සහ රට ඉන්ධන අර්බුදයෙන් සහ සමස්ත ආර්ථික අර්බුදයෙන් මුදවාගැනීම සඳහා සිය සැලසුම්වල මාර්ග සිතියම මහජනයා වෙත ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලාසිටියි.

එසේම, අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් නිසි පරිදි ලබාගැනීමෙන් අනතුරුව, මහජනයා වෙත සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් ඉන්ධන බෙදාහැරීම තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම සැලැස්මක් සම්පාදනය කරන ලෙස ද, එහිදී පොදු ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සේවා සම්පාදනයට බාධා සිදු නොවන බව තහවුරු කරන ලෙස ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටියි.

වර්තමාන තත්වයේ බරපතළකම සහ එමගින් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික ස්ථාවරත්වයට අත්විය හැකි භයානක ප්‍රතිඵල තේරුම් ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන්, රජයෙන් මෙන්ම වෙනත් දේශපාලන පක්ෂවලින් හා ක්‍රියාකාරී කණ්ඩායම්වලින් ද ඉල්ලාසිටියි.

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සෑම පියවරක්ම වහාම ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම මොහොතේ දී, රටේ යහපත උදෙසා මහජනයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සහ අනෙකුත් අදාළ සියලු දේශපාලනඥයන් වගකීම භාර ගත යුතුය.

ඡායාරූප අනුග්‍රහය - ලංකාදීප