Language Switcher

V2025

ධම්මික කිපුණේ : රනිල්ගේ සූදු බදු සංශෝධන යෝජනාව නිසාද ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා අද(06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය

ඔහු මෙහිදී සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ආර්ථිකය ගොඩගැනීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බවයි.

එවැනි සැලැස්මක් තිබේ නම් තමා සමග විවාදයකට එන ලෙසත් ධම්මික පෙරේරා අමාත්‍යවරයා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අභියෝග කළේය.

ධම්මිකගේ කිපුණේ ඇයි ?

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ ධම්මික පෙරේරා අමාත්‍යවරයකු වීමට පෙර අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයාව සිටි බව අමතක නොකළ යුතු බවයි .

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන නියාමනය කිරීමට සහ ඒවායින් විධිමත් ලෙස නියමිත බදු අයකර ගැනීමට හැකිවන ආකාරයට සූදු බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් යෝජනාවක් ගෙන ආ බවත් ඔවුන් සිහිපත් කරයි.

මෙතෙක් කාලයක් සූදු බදු නිසි ලෙස රාජ්‍ය ආදායමට එක්නොවූ බවත් ඒ ආශ්‍රිතව බදු නොගෙවීම සම්බන්ධයෙන් පවා ව්‍යාපාරිකයන්ට චෝදනා ඇති බවත් ඔවුන් පවසයි .

එසේම මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ජනතා අවිශ්වාසය ගොඩනගන්න බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන ව්‍යාපෘතිය විය හැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .

පසුගියදා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සමුදුන් අතර ඔහු වෙනුවට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තු පැමිණියේ ධම්මික පෙරේරා ය.

රනිල්ගේ යෝජනාව !

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඊට අනුව ,2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මඟින් ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන විධිවිධාන පනවා ඇත.

2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත.

එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී තිබේ.

එබැවින්, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.