Image

2026 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1 ක ධන වර්ධනයක්

2026 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1 ක ධන වර්ධනයක්

2026 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක ධන අගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එම්. ඩී. එස්. ඩී. කරුණාරත්න මහත්මිය පැවසුවා ය.

2015 ස්ථාවර මිල ගණන් යටතේ, 2025 වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 3,476,664 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වර්ෂයේ අදාළ කාලසීමාව තුළදී රුපියල් මිලියන 3,652,503 දක්වා ඉහළ ගොස් ඇත. එසේම පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.0 කින් වැඩි වී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා ය.

මෙම කාලසීමාව තුළ මෙරට ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුනම ධන වර්ධනයක් පෙන්නුම් කර තිබේ:

කර්මාන්ත ආර්ථික කටයුතු: සියයට 7.2 ක ඉහළ වර්ධනයක්, සේවා ආර්ථික කටයුතු: සියයට 3.4 ක වර්ධනයක්,කෘෂිකාර්මික ආර්ථික කටයුතු: සියයට 1.1 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

කර්මාන්ත අංශය තුළ ඉදිකිරීම් කර්මාන්තය සියයට 16.3 සහ පතල් හා කැණීම් කටයුතු සියයට 19.5 සුවිශේෂී වර්ධනයක් අත්කර ගෙන ඇත. සේවා අංශය තුළ රක්ෂණ සේවා සියයට 22.0 සහ තොරතුරු තාක්ෂණ සේවා සියයට 16.1 ඉහළම වර්ධන අනුපාත වාර්තා කර ඇත.

2026 වසරේ පළමු කාර්තුව ආරම්භයේදී 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් සහ කාර්තුව අවසානයේ ගල්ෆ් කලාපයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ වුව ද මෙම ධන ආර්ථික වර්ධනය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. මේ සඳහා ආනයන පරිමාව සියයට 20 කින් (පහෙන් එකකින්) වැඩිවීමත්, එමගින් රජයට ලැබුණු බදු ආදායම සහ දේශීය නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සැපයීමත් විශාල රුකුලක් වී තිබේ.

කෘෂිකාර්මික අංශය සමස්තයක් ලෙස ධන වර්ධනයක් ලැබුව ද, අපනයන බෝග කිහිපයක පසුබෑමක් දක්නට ලැබුණි. විශේෂයෙන් පොල් ඇතුළු තෙල් සහිත පළතුරු වගාව සියයට 64.8 ක විශාල වර්ධනයක් ලැබුව ද, රබර් සියයට 13.6ක්, වී සියයට 5.8ක් සහ තේ සියයට 3.6 වගා මෙම කාර්තුවේදී ඍණ වර්ධනයක් වාර්තා කර ඇත.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න