Language Switcher

V2025

කවුරුත් කොළඹ ඇවිත් නෑ : SF මැතිද අද තනියම අරගලයේ !

අද (09) අවසන් සටන සඳහා කොළඹ වැටලීමට ජන සුනාමියක් පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු අරගලයේ බව කියන පාර්ශ්ව කිහිපයක් විසින් අවස්ථා කිහිපයකදීම සිහිකැඳවීම් සිදුකළත් එය අසාර්ථකව ඇති බව වාර්තාකරුවන් පවසයි .

අවසන් සටන සිදුකරන දිනය ලෙස අද දිනය නම් කළත් මේ වන තුරු කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල සැලකිය යුතු ජන පිරිසක් ඒකරාශි වී නොමැති බවත් වාර්තා වෙයි .

මේ අතර ගෝල්ෆේස් පිටිය කේන්ද්‍ර කරගත් අරගල පාර්ශ්ව කිහිපයක් ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ අද අරගලය සඳහා ජනතාව කොළඹ නාවොත් තමන්ද අරගලය අත්හැර දමන බවය.

එසේම මේ වන විට ගෝල්ෆේස් අරගල බිමෙන් පිටත්ව ගිය පාර්ශ්ව අරගලය පාවාදුන් පිරිසක් බවටත් ඔවුන් චෝදනා නැගීය.

කෙසේ වුවත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ආසන්නයේ විරෝධතාවක නිරත වූ නමුත් එයත් ඉතාම ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබූ බවත් වාර්තාකරුවන් පවසයි .

මේ අතර ජවිපෙ ප්‍රමුඛ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවයි.

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ වෘත්තීය සමිති නියෝජිතයන් ගේ උද්ඝෝෂණයක් පමණක් පැවැත්වෙයි.

ජනතාව අරගලයට ආවේ : දේශපාලන පක්ෂවලට කඩේ යන්න නෙවෙයි !

ජනාධිපති මන්දිරය මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ පාර්ලිමේන්තුව යන අරගලකරුවන් ඉලක්ක වූ ස්ථාන ආශ්‍රිතව පොලිස් මාර්ග බාධක සහ පොලිස් කණ්ඩායම් ස්ථාන ගතකර තිබෙනු දකින්නට ලැබිණ .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ , නිර්පාක්ෂික සාමකාමී අරගලය එක් එක් දේශපාලන පක්ෂ වල බල දේශපාලන අරමුණු වෙනුවෙන් කළමනාකරණය කිරීමට යාම හමුවේ , දියාරුව ගොස් ඇති බවය.

ජනතාව පාරට බැස්සේ ඔවුන්ගේ අවම ජීවන තත්ත්වයත් අහෝසිවී යාමට එරෙහිව රාජපක්ෂ විරෝධයක් ලෙස මිස, කොහේවත් යන පක්ෂ වල බල අවශ්‍යතා වෙනුවෙන් නොවන බවත් ඔවුන් පවසයි .