වසර 04 කදී IMF වෙතින් : ලංකාවට ඩොලර් බිලියන 2.9ක් !

වසර 04 කදී IMF වෙතින් : ලංකාවට ඩොලර් බිලියන 2.9ක් !

ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීම සඳහා කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (01) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එම මුදල විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අවුරුදු 04ක කාලයක් තුළ කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට සහ මූල්‍ය පරතරය පියවීම සඳහා ණය හිමියන්ගෙන් ණය සහන මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බවත් ඔවුන් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කරන බවට ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට සද්භාවයෙන් උත්සාහයක් ගැනීම ඉතා වැදගත් බව මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට සියල්ල ඇතුළත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ලබා දීම සඳහා සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට ඉකුත් 24 වෙනිදා සිට අද (01) දක්වා පීටර් බෘවර් සහ මසහිරෝ නොසාකිගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට,ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනොපායන් ආරක්ෂා කිරීමට මෙන්ම ආර්ථිකය නැවත පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

දැඩි ප්‍රතිපත්ති මත රජයේ අදායම ඉහළ නංවා ගැනීම,ඉන්ධන සහ විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්ට වැය කරන මුදලට සරිලන මුදලක් අය කර ගනිමින් එම රාජ්‍ය ව්‍යවසායන් ඇති කර ඇති අවදානම අවම කිරීම,මිල ස්ථාවරත්වය ඇති කිරීම සහ මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම,වත්මන් ආර්ථික අර්බුදයෙන් දැඩි අවදානමට ලක් වූ සහ දුප්පත් පවුල්වලට එල්ල වන බලපෑම අවම කිරීම,නම්‍යශීලි විනිමය අනුපාත මගින් විදේශ සංචිත ඉහළ නංවා ගැනීම,දුෂණය අවම කිරීම හරහා තිරසාර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජයේ මූලික අංග ලෙස හඳුන්වා දිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.

රජයේ අදායම ඉහළ නැංවීම සඳහා ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දිය යුතු බව මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.එහිදී අදායම් බදු පුද්ගලයාගේ ධනය මත පදනම් විය යුතු බවත් ආයතනික ආදායම් බදු සහ වැට් බදු සඳහා බදු පදනම පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බවත් ඔවුහූ පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාව ඇති වී තිබෙන වත්මන් අර්බුදයට ඉක්මණින් සහාය අවශ්‍ය බවත් සහාය ඉක්මණින් නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ මානුෂීය අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් අරමුදලේ නියෝජිතයින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියන 2.9 ක මුදල ලබා දීම ආරම්භ වන කාලය කිව නොහැකි බවත් එය තීරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය මත සහ ණය තිරසරභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ණය හිමියන් ලබා දෙන සහතිකය මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

අතීතයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දුන් රටවල් අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත් අවස්ථාද තිබෙන බව ඔවුන් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ,අරමුදල් වැඩසටහනක් ක්‍රියාත්මක වන රටකට අනෙක් බහු පාර්ශ්වික හවුල් කරුවන්ද ණය ලබා දීමට ඉදිරිපත් වන බැවින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදල ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රමාණවත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් තිබීම වැදගත් බව අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළේය.ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ සහතිකයක් ලබා දීමට එකඟ නොවූහොත් වත්මන් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සහ ණය හිමියන් අතර පැවැත්වීමට නියමිත ණය ප්‍රතිව්‍යූගත කිරීමේ සාකච්ඡාවලට මැදිහත් නොවන බවත් එම අරමුදලේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසු කාර්ය මණ්ඩල ගිවිසුම විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන බව එම නියෝජිතයෝ පැවසූහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න