Language Switcher

V2025

අරගල බිමේ ප්‍රකට ක්‍රියාකාරිනී නිර්මාණී හදිසියේ සමුගනී......

ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු 'පුරවැසි සභාව' වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත

වී තිබේ. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණාය.

 බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

 පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කළාය.

 වඩා යහපත් රටක් වෙනුවෙන් හීන දුටු නිර්මාණි ඉතා දක්ෂ තරුණ නායිකාවක වූ අතර ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ පරිසර කමිටුව හා සම්බන්ධ වී දැඩි කැපවීමෙන් ක්‍රියාකළ ක්‍රියාකාරිණියකි. අගේ හදිසි වියෝව සමීපතමයින්ගේ කම්පනයට හේතුවී තිබේ.

 නිර්මාණි : 'ලංකාව යහපත් තැනක් කරන්න වෙහෙස වුණා' - ගල්කන්දේ ධම්මානන්ද හිමි

ඇයගේ හදිසි වියෝව සම්බන්ධන්යෙන් පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර ඇත.

 ''නිර්මාණි, ඉතාම කලාතුරකින් හමුවන විශේෂ දක්ෂතා ඇති කෙනෙක්. ලංකාව යහපත් තැනක් කරන්න ඇය විශාල විදියට වෙහෙස වුණා. නාගරික ප්‍රදේශවල අතහැරී ඇති නාගරික වීදි දරුවන් ඉගෙන ගන්නා පාසැල් සමග ඇය වැඩ කරන කාලයේ දීයි අපි මුලින්ම හමුවන්නේ. ඒ මීට වසර ගණනාවකට පෙර.

ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් කළ හැකි දැවැන්ත චරිතයක නික්ම යාම විශාල සංවේගයක් ඇති කරවන්නක්.

 ඊයේ හවස 3 ට විතර මම ඇයට කතා කළා. නාසයේ කුඩා ශල්‍ය කර්මයකට ලංකා රෝහලට ඇතුළත්වී සිටිනා බව ඇය කීවා. අද හවස ඈ බලන්නට එන්නට මා පොරොන්දු වුණා. හවස 3.25 ට ඇගෙන් ආ අවසාන පණිවුඩයේ සඳහන්ව ඇත්තේ ලංකා රෝහලේ 8 වැනි මහලේ ඈ සිටිනා කාමර අංකයයි.

 ලෝකය යහපත් තැනක් කරන්න හදන අයගේ ජීවිතය 'සහාය දිවීමක්' වැනියි. සමහරු ගොඩාක් කාලය අරන් යෂ්ඨිය ටිකක් දුර අරගෙන ගිහින් ඊළඟ පරම්පරාව අතට දීල යනවා. සමහරු කෙටි කාලයක් තුළ යෂ්ඨිය ගොඩාක් ඉදිරියට අරං ගිහින් ඊළඟ පරම්පරාව අතට පත් කරල යනවා. නිර්මාණි අයිති මේ දෙවැනි පිරිසට.''

 නිර්මාණශීලී නිර්මාණී රටට අහිමි වුනා...

නිර්මාණිගේ අකල් වියෝව සම්බන්ධයෙන් චින්තන ධර්මදාස සිය මුහුනුපොතේ මෙවැනි සටහනක් පළකර තිබේ.

 ''නිර්මාණීව මට මුණගැහෙන්නෙ මීට අවුරුදු ගානකට කලින්. එයා මාත් එක්ක මුනගැහිලා කතා කරන්න ඕන කියල මැසෙන්ජර් පණිවුඩයක් එවලා තිබුන. අපි කෝපි කඩයක මුනගැහුනා. නිර්මාණී පුංචිම පුංචියට ඉඳගෙන නගර නිර්මාණ විෂය ගැන මාත් එක්ක කතා කළා. ඒ දැනුමට වඩා පර්ස්පෙක්ටිව් එක මට ගොඩක් අලුත් වුනා. මං උනන්දුවෙන් පන්න පන්නා නිර්මාණීගෙ විෂය ගැන කතා ඇහුවා. පබ්ලික් ස්පේසස් ගැන, මිනිස්සු විසින් සාමූහිකව ස්වභාවිකව අවකාශය නිර්මාණය කරගන්නා ආකාරය අධ්‍යනය කිරීම ගැන නිර්මාණී මට කියල දුන්නා. පස්සෙ දවසක මේ ගැන තමාට වඩා බොහෝ දැනුමක් ඇති කෙනෙක් විදිහට මහාචාර්ය නිහාල්වල් මුනගැස්සුවා. නිර්මාණී කියන්නෙ හැමතිස්සෙම මාව අලුත් දේකින්, අලුත් අදහසකින් ඉන්ස්පයර් කරපු පුංචි කෙල්ලෙක්.

ඊට පස්සෙ මට නිර්මාණීව අරගලේදී මුනගැහුනා. එයා අරගලභූමිය සාමුහීක පොදු අවකාශයක් විදිහට නිර්මාණය කිරීම ගැන උනන්දුවෙන් හිටියා. නිර්මාණී වගේ අය අරගලය ඇතුලෙ ඉන්න එක ගැන මං ගොඩක් සතුටෙන් හිටියා. අරගලය ඇතුලෙ ගෝටා පැන්නීම වගේ හැමෝම යටිගිරියෙන් කෑ ගහන ක්ෂනික තෘප්තිදායක දේවල් වෙනුවට නිර්මාණී වැඩ කලේ දීර්ඝ කාලීන අරමුණු වෙනුවෙන්, හෙමින් හෙමින්.

අරගලය ඇතුලෙ කාන්තාවන්ගෙ අදහස් එලියට ‍ගේන්න මාධ්‍යවලින් උදව් අරන් දෙන්න කියල නිර්මාණී මට වෙලාවක කිව්වා. මතුපිටින් පේන අධීවේගී, ප්‍රකෝපකාරී අදහස්වලට යටින් ඉතාම පරිණත, නිර්මාණාත්මක අදහස් දරන පිරිසක් අරගලය ඇතුලෙ ඉන්න බව සමාජය දකින්න ඕන කියල එයා කිව්වා. මං පුළුවන් හැම යූටියුබ් චැනල් එකටම කතා කරලා මේ අවස්ථාව ‍ලබාදෙන්න කියල ඉල්ලුවා. ඒක සිද්ද වුනාද කියල මං දන්නෙ නෑ. රටේ හැම තැනකදිම වගේ අරගලය ඇතුලෙත් පිරිමි හඩ අධිතක්සේරු වෙලයි තිබුනෙ. සද්ද නැතුව ලොකු වැඩ කරපු පුංචි නිර්මාණිලා එලියට පෙනුනෙ නෑ.

අන්තිමට මං නිර්මාණීට කතා කලේ ගොඩයමු සාමූහිකය එක්ක එකතු වෙන්න කියල ආරාධනා කරන්න. දින කීපයකින් සර්ජරි එකක් කරන්න තියෙනවා කියල එතනදි නිර්මාණී මට කිව්වා. ඒ ගැන මං කලබලෙන් ඇහුවම ඒක පුංචි දෙයක් කියල එයා මාව සංසුන් කළා.

ඒ පුංචි දෙයින් ලොකු පරිකල්පනයක් සහිත පුංචි නිර්මාණීව සදහටම නිහඩ කළා. කතා කරන මොහොතකින් වුනත් ලොකු ඉන්ස්පිරේෂන් එකක් දෙන පුංචි කෙල්ල, විසල් හීන තැන්පත් විසල් හදවත සදහටම නතර කළා. නිර්මාණශීලී නිර්මාණී රටට අහිමි වුනා.

මං ඇත්තටම දන්නෙ නෑ එයාට සමුදෙන්නෙ කොහොමද කියල. මට ඒක කරන්න බැරි වෙයි.''