සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න සජිත්ගෙන් කමිටුවක් : ෆොන්සේකා හලලා !

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න සජිත්ගෙන් කමිටුවක් : ෆොන්සේකා හලලා !

යළිත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වෙත මේ බව නොනිල වශයෙන් දැනුම්දීමට විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.

මේ අතර අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවී ඇති බවත් වාර්තා වෙයි.

මෙම හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යෝජනා කර ඇත්තේ, ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයක් සඳහා සූදානම් බව ප්‍රකාශකර ඇති බැවින් මේ මොහොතේ , අග්‍රාමාත්‍ය ධූරය විපක්ෂ නායක වෙත ඉල්ලමින් එම නව කැබිනට් මණ්ඩලයට ඇතුල්වීමේ අවස්ථාව ඇති බවයි. ඒ සමඟ සජබ ජේෂ්ඨයන් පිරිසකට අමාත්‍ය ධූර ලබා ගැනීමේ හැකියාව ඇති බවත් එම මන්ත්‍රීවරයා සඳහන් කළ බව වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟව ඇති අතර ඒ සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක යන තිදෙනාගේ කමිටුව නම් කිරීමටත් කටයුතු කර ඇත. එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර තිබෙන්නේ සජබ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාරය.

මීට පෙර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කළ කමිටුවේ ප්‍රධානීත්වය දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වුවත් මෙවර ඔහුව එම කමිටුවට නම් කර නැත.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, ඊයේ (14) අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගේ කණ්ඩායම සමගි ජනබලවේගය සමඟ එක්වූ බවට පුවතක් ප්‍රචාරය වුවත්, පැය කිහිපයක් යන තැන එම මන්ත්‍රී කණ්ඩායමේ හතර දෙනෙකු එම පුවත අසත්‍යක් බව ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි කම්පනයෙන් පසුවන බවය.

මෙම පුවත මාධ්‍ය වෙත නිකුත්කර තිබෙන්නේද විපක්ෂ නායක මාධ්‍ය අංශයේ මැදිහත්වීමෙන් බවත් දේශපාලන ආරංචිමාර්ග පවසි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න