Language Switcher

V2025

ඕමානයේ සිටින තානාපති නිලධාරියා ගැන කෝපා කමිටුවෙදීත් ඇදිලා !

වැඩ තහනමකට ලක්ව සහ අත්අඩංගුවට ගැනීමට නියමිත ඕමාන තානාපති කාර්යාල නිලධාරියාට එරෙහිව පැමිණිලි මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබී තිබුණද ඒ සදහා තීරණයක් ගැනීම ප්‍රමාද වී ඇති බව ඊයේ (22) පැවති රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී ඇත.

අතිරේක විගණකාධිපති. පී.එල්.කේ පෙරේරා එහිදී පෙන්වාදී ඇත්තේ 2022.02.28 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

එසේම මෙම පුද්ගයා සම්බන්ධයෙන් මුදල් වංචා, සහතික වංචා ආදිය වාර්තා වී තිබූ බවද අතිරේක විගණකාධිපතිවරයා සඳහන් කළේය.

මේ අනුව අදාළ පුද්ගලයා තනතුරේ රැදී සිටියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බැවින් වහාම මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ‍මෙම වසරේ පෙබරවාරි මසදී අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්ද කර ඇති බව මෙහිදී අනාවරණය විය.
මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ලැබෙන තුරු පියවර නොගැනීම සම්බන්ධයෙන් කමිටුව දැඩි අප්‍රසාදය මීට අදාළ නිලධාරීන්ට පළ කළ සිටියහ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පවසා සිටියේ 2022.02.28 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලීමට අනුව මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් සිදු කළද චෝදනා තහවුරු කිරීමට නොහැකි වූ බවයි. ඔමානයේ මෙරට තානාපතිවරයාගෙන් වාර්තාවක් කැදවීමෙන් අනතුරුව සහ නොවැම්බර් මාසයේ 4 වැනිදා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පරීක්ෂණ වාර්තාව මත කාර්යාංශය මගින් නිලධාරියාගේ වැඩතහනමකට ලක් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පවසා සිටියේය.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් පියවර නොගැනීම සම්බන්ධයෙන් කමිටුව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ තමා මෙම අමාත්‍යාංශයට පැමිණියේ මෙම වසරේ මැයි මාසයෙන් පසුව වුවද වගකීම භාර ගන්නාබවයි. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලේකම්වරයා වෙනස් වුවද නිලධාරීහු මෙහි වගකීම දැරිය යුතු බවයි.