Language Switcher

V2025

සැබෑ විකෘතිය ඇත්තේ කොතැනද?

"සැබවින්ම රට අරාජික කරන අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට; 88-89 ප්‍රචණ්ඩත්වයට ආර්. ප්‍රේමදාස ජනාධිපති බිය වුණේ නැත. ජවිපෙ සිදු කළ අවි ගත් කැරැල්ලට මුහුණ දීමට තරම් ධෛර්යයක් එදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිට තිබිණ. එහෙත් ඔහුගේ ජීව විද්‍යාත්මක උරුමය පමණක් ඇති සජිත්, අද එහි ප්‍රතිවිරෝධය බවට පත්ව ඇත."

"කිසිදු ජනතා කැමැත්තකින් තොරව පස්සා දොරෙන් බලයට පත්ව ආර්ථික ඝාතකයන් රැළකගේ රැකවරණය ලබමින් සිදු කරන බියගුළු ප්‍රකාශවලට මේ රටේ පුරවැසියන් බිය වෙතැයි ජනාධිපතිවරයා කල්පනා කරනවා නම්, ඔහුට සිහිපත් කළ යුත්තේ මීට මාස කිහිපයකට පෙර සිදුවූ දේශපාලන පෙරළිය නැවත විමසා බලන ලෙසටය."

ඉහත උපුටා ගැනීම පසුගිය නොවැම්බර් 23 වැනිදා විපක්ෂ නායක සජිත් නිකුත් කළ නිවේදනයෙන්ය. ඒ පාර්ශ්වය මේ නිවේදනය නිකුත් කර සිටියේ, නොවැම්බර් 23 වැනිදා පෙරවරුවේ ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

විපක්ෂ නායක සජිත් කියන ලෙසට මීට මාස කිහිපයකට පෙර සිදුවූ දේශපාලන පෙරළිය සිහිපත් කළොත් පෙනෙන්න ඇත්තේ කුමක් ද? විපක්ෂ නායක සජිත් අසන්නේ මැයි 09 වැනිදා සිට ද? නැත් නම් ජූලි 09 සිට ද? මැයි 09 සිට සිහිපත් කළොත් අප ඉදිරියේ සිටියේ, අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී දින කිහිපයක් අග්‍රාමාත්‍යවරයකු ප්‍රමුඛ ආණ්ඩුවක් නොමැතිව අරාජික වූ රට බාර ගන්න තරම් කොන්දක් නොතිබූ, විපක්ෂ නායකවරයෙක්ය. අවම වශයෙන් ජනාධිපති තෝරා ගැනීම වෙනුවෙන් පවැති පාර්ලිමේන්තු ජන්ද විමසීමේදී විපක්ෂයේ අපේක්ෂකයා වීමේ අවස්ථාවවත් සජිත්ට ලැබුණේ නැත. ඒ අවස්ථාව ලබා ගත්තේ ඩලස් අලහප්පෙරුමය.

ඒ කියන්නේ ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට ඊළඟ සුදුස්සා ලෙස ජන්දයට ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ශ්වයේ බහුතරය දිනා ගන්න සජිත් අසමත් වූ බවය. එසේ විපක්ෂයේ බහුතර විශ්වාසය තීරණාත්මක මොහොතේ ලබා ගැනීමට අසමත් වූ සජිත්, තවදුරටත් විපක්ෂ නායක ලෙස කටයුතු කරමින් සිටියි. ඒ අනුව සජිත් කියන ඒ "පසුගිය මතකය", වත්මන් දේශපාලනයට ආදේශ කළොත්, මේ ආණ්ඩුව විකෘතියක් කියන්න හෝ ජනාධිපති රනිල් බලය ගත්තේ පස්සා දොරෙන් කියා සජිත් කරන චෝදනාවට කිසිම පදනමක් නැත. විකෘතිය ඇත්තේ විපක්ෂ නායක ධුරයේය. දැන හෝ නොදැන සිදු කරන ළදරු දේශපාලන තර්ක අවසානයේ සජිත්ටම පාරාවළල්ලක් වන්නේ එහෙමය.

ප්‍රතිපත්තිමය තීන්දු තීරණ !

කෙසේ නමුත් දිගින් දිගටම විපක්ෂ නායකවරයා විකෘතියක් ගැන කතා කරන බැවින්, සැබෑ විකෘතිය ඇත්තේ කොතැනද? යන්න පෙන්නුම් කර දීමට බල කෙරී ඇත.

"මේ රටේ පුද්ගලීකරණය සහ ජනතාකරණය ආරම්භ වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේය. එවකට කර්මාන්ත ඇමැතිවරයා ලෙස මම එය ආරම්භ කළා.".... "අපි පළමුවෙන්ම පෞද්ගලීකරණය කළේ යුනයිටඩ් මෝටර්ස් ආයතය. එය ලාභ ලබපු ආයතනයක්. ඒ වගේම පෞද්ගලිකරණය කළ සිලෝන් ඔක්සිජන්, ලෙදර් කෝපරේෂන්, ටයර් කෝපරේෂන්, ලංකා මිල්ක් පුඩ්, ලංකා ඩිස්ටිලරිස් මේ සියලු ආයතන ලාභ ලබන ආයතන. ඊළගට වැවිලි සමාගම් පෞද්ගලීකරණය කළා. මේ ඇතැම් ආයතන ලාභ ලැබූ ඒවා. සමහර ආයතන අලාභ ලැබූ ආයතන.

1977 ජේ.ආර්. ජයවර්ධන මහතා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා 1989 ඊළග පියවර ගත්තා. සමහර ආයතන රජයේ පාලනයෙන් ඉවත් කරලා පෞද්ගලික අංශයට භාර දෙන්න. මෙහිදී උදාහරණ කර ගත්තේ චීනයේ ඩෙන්ග් ෂියෝපින්ග් මහතා ආරම්භ කළ වැඩසටහන. අපි එය ඉදිරියට ගෙන ගියා. නැවත උත්සාහ කරන්නේ එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න."

ඉහත උපුටා ගැනීම නොවැම්බර් 23 වැනිදා ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයෙන්ය.

එදා ආර්. ප්‍රේමදාස පාලනය යටතේ දියත් කළ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයට පැවරීමේ ප්‍රතිපත්තිය ඔහුගේම පුතාණෝ වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද ප්‍රතික්ෂේප කර ඇත. 77 දී ජේ.ආර්. පාලනය ආර්ථිකය විවෘත කළ අතර, ආර්. ප්‍රේමදාස පාලනය දියත් කර සිටියේ එහි ඊළඟ පිම්මය. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයට පැවරීම එහි වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය පියවරක් විය. ඒ තුළ රාජ්‍යයේ සීමා මත යැපුණු ප්‍රාග්ධනයට නිදහසේ වර්ධනය වීමට අවස්ථාව සැලසිණ. රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයේ විලංගුවෙන් ගැළවුණු රට, මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට එය අත්‍යවශ්‍ය කාරණයක් විය. රජයේ කාර්ය භාරය වූයේ ඒ වෙනුවෙන් වන පහසුකම් සැලසීම සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමය.

නිවැරදි මාවත !

ඒ වන විටත් සමාජවාදී ලෙස හැඳින්වුණු චීනය පවා සිටියේ මේ උපායමාර්ගික ක්‍රමවේදය පිළිගනිමින්ය. මාවෝ සේතුං ගේ උගත් පාඩම් ඇසුරෙන් ඩෙං ෂියාඕපිං චීන ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළේ, පළමුව ගොවියන්ට තම ඉඩම්වල වගා කිරීමට අවසර දීම ඔස්සේය. 1979දී එක්සත් ජනපදය සමඟ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇති කර ගැනීමත් සමඟ, විදෙස් ආයෝජන සඳහා දොරටු විවර විය. ඉතා ලාභ මිලට ලැබෙන කම්කරු ශ්‍රමයට ලොල් වූ ආයෝජකයන්ගෙන් මුදල් ගලා එන්න විය. ඉතිහාසයේ දුටු ඉහළම ආර්ථික ආශ්චර්යය 1970 අවසානයේ චීනය ඔස්සේ ප්‍රදර්ශනය විය. 1990 දශකය පුරා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් වාර්තා කළ චීනය, 2001දී ලෝක වෙළෙඳ සංවිධානයට බැඳුණේය. ඉන් චීන ආර්ථිකය තවත් ශක්තිමත් විය. වෙනත් රටවලට පනවා තිබූ වෙළෙඳ සීමා සහ තීරු බදු ලිහිල් කළේය‍. ඉතා කෙටි කලක් තුළ චීන භාණ්ඩවලින් ලෝකය වෙලා ගැනිණ. චීනය අනුගමනය කළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් අද වන විට ලොව ශක්තිමත්ම ආර්ථිකයක් ඇති රට පමණක් නොව, වැඩිම බිලියනපතියන් සිටින රට බවටත් චීනය පත්ව ඇත.

ජේ.ආර්. 77 දී ආර්ථිකය විවෘත කරන විට, බටහිර දියුණු රටවල පමණක් නොව, සමාජවාදී චීනයේ මේ වෙනසත් නොදැන සිටියා විය නොහැකිය. ජේ.ආර්. ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගිය ආර්.ප්‍රේමදාස පාලනය පවා චීනයේ මේ වෙනස නොදැන සිටියා විය නොහැකිය. ඒත්, 94න් පසුව මේ ප්‍රතිපත්තිය නිවැරැදිව ඉදිරියට ගියේ නැත. ඒ නිසා ඇති වූ විකෘතිය අවසන් වූයේ දශක කිහිපයකට පසුව රටම මහා සමාජ ආර්ථික ව්‍යසනයක් වෙත ඇද දමමින්ය.

ජේ.ආර්, ප්‍රේමදාස යුගයේ අද නියමුවා ජනාධිපති රනිල්ය. දේශපාලන ජීවිතයේ වැඩිම කාලයක් විය යුතු දේ සම්බන්ධයෙන් ඇත්ත කියන්න ගොස් වැඩිම හානියක් කරගත් දේශපාලනඥයා ද රනිල්ය. 2023 අයවැය යෝජනා මඟින් ජනාධිපති රනිල් පදනම සකස් කර ඇත්තේ, ආර්ථිකයට අදාළව ජේ.ආර්. - ප්‍රේමදාස යුගයෙන් පසුව පැමිණි පාලන ඔස්සේ සිදුවූ ඓතිහාසික වැරැදි යළි නිවැරැදි මාවතට ගන්නය. නැත්නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සිදුවූ විකෘතිය යථා තත්ත්වයට පත් කරන්නය. එහෙත් ඒකට විපක්ෂ නායක සජිත් විරුද්ධය.

අත්තනෝමතික ප්‍රචණ්ඩත්වය !

සජිත්ගේ මේ හැසිරීමට අදාළව කදිම දේශපාලන විග්‍රහයක් පසුගිය 23 වැනිදා ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේදී ගෙනහැර පෑවේය.

ඒ, "ඊයේ (22) මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අලාභ ලබන ආයතන විතරයි පෞද්ගලීකරණය කළ යුත්තේ කියලා. එතුමාගේ සහයෝගයට විපක්ෂ නායකතුමත් කිවුවා අලාභ ලබන ආයතන විතරයි විකුණන්නේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා." කියමින්ය.

ජනාධිපති රනිල්, සජිත්ව මහින්දගේ අනුගාමිකයකු කළාට, දර්ශනය අනුව නම් ඔහු වඩාත් ගැළපෙන්නේ මහින්දගේ දේශපාලන පුත්‍රයාටය. ඒ බව යළි යළිත් තහවුරු කිරීමට අලුත් සාක්ෂ්‍ය අනවශ්‍ය අතර, එයත් කරදරයක් නැතිවම සපයන්නේ සජිත්මය. ඊට ආසන්න නිදර්ශනය ජනාධිපති රනිල් නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සජිත් නිකුත් කළ නිවේදනයේ පවා ඇතුළත් වූයේ මෙසේය.

"ආර්ථික ඝාතකයන්ට උත්තමාචාර පිරිනමා ඔවුන්ව රතු පලස් උඩින් පිළිගන්නා ජනාධිපතිවරයා, අප්‍රමාණ දුක් පීඩා උහුලමින් සිටින ජනතාවට ලබා දෙන්න යන්නේ මර්දනය බව ඔහුගේ වියරු ප්‍රකාශයෙන් සහ හැසිරීමෙන් ගම්‍ය වන අතර, එවැනි තර්ජන හෝ ගර්ජන අප මායිම් නොකරන බවද අවධාරණය කරමු."

මේ ප්‍රකාශය හමුවේ සජිත් පිළිතුරු දිය යුතුව ඇති පළමු ප්‍රශ්නය නම්, 2023 අයවැයේ ඇති ආර්ථික ඝාතන ප්‍රතිපත්තිය කුමක් ද? යන්නය. දෙවැන්න නම් ජනාධිපති රනිල් අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට සහ රට අරාජික කරන්නන්ට එරෙහිව කටයුතු කළ ආකාරය ෆැසිස්ට් නම්, ඊටත් වඩා ඉදිරියට ගොස් ජවිපෙ කැරැල්ල පරාජය කළ තම පියාණෝ ද ෆැසිස්ට්වාදියකු ලෙස සජිත් සලකනවා ද? යන්නය.

සැබවින්ම රට අරාජික කරන අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට; 88-89 ප්‍රචණ්ඩත්වයට ආර්. ප්‍රේමදාස ජනාධිපති බිය වුණේ නැත. ජවිපෙ සිදු කළ අවි ගත් කැරැල්ලට මුහුණ දීමට තරම් ධෛර්යයක් එදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිට තිබිණ. එහෙත් ඔහුගේ ජීව විද්‍යාත්මක උරුමය පමණක් ඇති සජිත්, අද එහි ප්‍රතිවිරෝධය බවට පත්ව ඇත. ඒ ජනාධිපති රනිල්ට එරෙහිව රට අරාජික කරන අත්තනෝමතික කල්ලි කණ්ඩායම්වලට සහය දක්වමින්ය.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් ප්‍රශ්න විසඳීම !

මේ සියල්ල කැටි කර ගත් කල, සජිත් කියන්නේ එක් පසෙකින් පියාණන් පවා භාවිතය තුළ තහවුරු කළ නිවැරැදි ආර්ථික දර්ශනය තේරුම් නොගත් සහ ඊටම පිටුපෑ පුතාණෝය. අනෙක් පසින් රට අරාජික කරන අත්තනෝමතික ප්‍රචණ්ඩත්වයට එරෙහිව රාජ්‍යය ආරක්ෂා කිරීමට පියාණන්ට තිබූ ධෛර්යයටත් නින්දා කරන පුතාණෝය.

ඒ අනුව විකෘතිය ඇත්තේ ආණ්ඩුවේ ද? නැත්නම් විපක්ෂ නායක සජිත්ගේ ද? කියා තේරුම් ගන්න අලුත් දර්ශනයක් අවශ්‍ය නැත. විකෘතිය ඇත්තේ සජිත්ගේය. ප්‍රශ්නය ඇත්තේ සජිත් එය නොදැන සිටීමය. එනිසා තව දුරටත් ඔය විකෘතිය සමඟ ගොස් විකාරයක් වනවා ද? අර්බුදයෙන් රට ගොඩනගන්න එකතු වෙනවා ද? යන්න ගැන විපක්ෂයේ පාර්ශ්ව තීන්දුවක් ගත යුතුව ඇත.

ඒ හැර ජනාධිපති රනිල් ෆැසිස්ට් කියමින් වචනවලින් තොරණ ගහන්න ගියාට තේරුමක් නැත. රනිල් ෆැසිස්ට් නම්, රනිල් චීනයේ ඩෙන්ෂියාඕගේ ආර්ථික ප්‍රතිපත්ති අගයන නිසා ඔහු වාමාංශික වෙලා ද? ක්‍රියාත්මක කළ බව මේ කතා අස්සේ කිවුවේය. එතකොට රනිල් වාමාංශික වෙලා ද? වියට්නාමයේ ඩින් ඩියැම් ගැන කියන විරෝධාකල්ප අදහස් නිසා ජනාධිපති රනිල් කතෝලික හෝ අමෙරිකන් විරෝධියෙක් වෙලා ද? පැවිදි බට්ටන් ගැනත් කිවුවේය. ඒ කියන්නේ රනිල් බෞද්ධ විරෝධියෙක් වෙලා ද? නැත.

රනිල් කියන්නේ රනිල් ය. රනිල් වම - දකුණ කියා දේශපාලනය තුළ පැරඩ් තියන්න යන්නේ නැත. රනිල්, ආගම දේශපාලනයට පටලවා ගත්තේද නැත. ඒ, ජේ. ආර්. ගේ ආදර්ශයය. රනිල් හැම ආගමකටම ගරු කරයි. ඒත් සුදු ලෝගු දාගෙන, කහ සිවුරු පොරවාගෙන එන කුමන්ත්‍රණවලට ඉඩක් ඔහුගෙන් ලැබෙන්නෙ නැත. සිංහල, දෙමළ, මුස්ලිම් සිංහල ජන කොටස්වලට සාමයෙන්, සාමදානයෙන්, සංහිඳියාවෙන් ජීවත් වෙන්න බලය බෙදා හැරීම වෙනුවෙන් ඔහු පෙනී සිටියි. ඔහු ඒ බව පසුගියදා ප්‍රසිද්ධියේම පාර්ලිමේන්තුවේදී කිවුවේය. පොදු එකඟතාවක් ඇති කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වෙත ආරාධනාද කළේය.

රනිල් ප්‍රශ්න විසඳන්නේ හිට්ලර්ගේ ක්‍රමයට නොවේ. ඔහුගෙන් ඉඩ ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පමණය. මේක තේරුම් ගන්න බැරි උදවිය නම් ඇත්තටම විකෘතිය.

 කුලසිරි ලියනගේ