රාජිත in කෙහෙළිය out !

රාජිත in කෙහෙළිය out !

සෞඛ්‍ය ඇමැති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මේ දවස්වල ඉන්නේ ෆුල් අප්සට් එකේ කියන කතාව බොරුවක් වෙන්න බෑ. වැඩිය සද්ද බද්ද ඇත්තෙත් නෑ. කිසි තැනකට එන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ වැඩි කතා බහකුත් කෑ...

කාලයක් තිස්සේ ආණ්ඩුවෙත් පොරක් වෙලා කැබිනට් එකේ ප්‍රකාශක වෙලා ආණ්ඩුවේ වැඩ ගැන තවුසන් ටෝක් මාධ්‍ය වලට ඉෂූ කරපු කෙහෙළිය ඇමතිට මේ මොකද වෙලා තියෙන්නෙ කියලා හැමෝම අකම්පාල වෙනවා.

ඒත් ඉතිං ඇත්ත කතාව දන්න අයත් නැතුව නොවෙයි. දන්නෑ වගේ ඉන්නවා.

කොරෝනාවෙන් පස්සේ 2022 දී යාන්තමින් රට කෙලින් කරගෙන එනකොට ම තමයි විදුලි අර්බුදය පටන් ගත්තේ. ලයිට් කැපිල්ල දවසට පැය දාහතර දක්වා දික් වුණා. ඊට පස්සේ රටේ ගෑස් ප්‍රශ්නය ආවා. ඊටත් පස්සේ රටේ පෙට්ට්‍රල් ඩීසල් භූමිතෙල් ප්‍රශ්නය ආවා. ඔය ඔක්කොටම පස්සේ තමයි ඉස්පිරිතාලවල් වල බෙහෙත් නැති ප්‍රශ්නය ආවේ.

මේ හැම විජ්ජුම්බරයකටම මුල රටේ ඩොලර් නැතිකම බව ඇත්ත. ඒත් එක්කම මනා කලමනාකරණයක් නැති ආන්ඩුවේ බැරි බැරියාවත් මේ ඛේදවාචකයට තව ප්‍රබල හේතුවක් වුණා.

ඔක්කොම පව් ගෝඨාභය පිටින් හේදිලා ගියා. රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුණා.

ටික කලක් යනකොට අරගලයත් පාලනය වුණා. විදුලි කැපිල්ල, ගෑස් හිඟය, ඉන්ධන පෝලිම, වගේ සියලුම ප්‍රශ්න ටිකින් ටික නිරාකරණය වුණා.

ඒත් තාම නිරාකරණය නොවුණු එකම ප්‍රශ්නය තිබුනෙ සෞඛ්‍ය අමාත්‍යංශයේ.

පහුගිය දවස්වල අයවැය කාරක සභා අවස්ථාවේදීත් මේ රටේ පවතින බෙහෙත් හිඟය ගැන කතාබහට ලක්වුනා. බෙහෙත් හේත් අඩුවක් පාඩුවක් නැතුව සපයන්න පුළුවන් විදියට ඩොලර් ලැබිලා නෑ කියන එක තමයි ඇමති කෙහෙළියගේ පැත්තෙන් කියවුණේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයෙදි හිටපු ඇමති රාජිතත් හොඳ කතාවක් කළා. ඖෂධ හිඟය ගැන ඇත්ත දත්ත ඔහු එළියට දැම්මා. රෝගියකුට මරණය වැළැක්විය හැකි ජීවිතාරක්ෂක ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග බර ගණනක් තවම රෝහල් පද්ධතිය සතුව නැත්තේ ඩොලර් නැති කම නිසා නෙවෙයි කියලා ඔහු ඔප්පු කලා.

එහෙනම් මොකක්ද හේතුව. නිසි කළමනාකරණයක් අමාත්‍යාංශය පැත්තෙන් නැති එක නෙවෙයිද කියලා කෙනෙක් අහන්න පුළුවන්.

රාජිතගේ ඒ කතාව ඇහුවට පස්සෙ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් හුඟක් අය ඇවිල්ලා රාජිතට කතා කළා. "තමුන්නාන්සේ මේ ක්ෂේත්‍රය ගැන මෙච්චර දන්න කෙනා මොන එකක්ද විපක්ෂයට වෙලා කරන්නේ." ආණ්ඩුවට සම්බන්ධ ජේෂ්ඨ ඇමතිවරයෙක් ඇහුවා.

"ඒකනේ අපි කිව්වෙ හැමෝටම එකඟ වෙන්න පුළුවන් වැඩපිළිවෙළක් මත ආණ්ඩුවක් හදන්න කියලා. කොහෙද ඕගොල්ලන් පොහොට්ටුවට යටවුනා. දැන් ඉතින් වැඩේ අමාරුයි..."

කොහොම වුණත් සමහරු රනිල් වික්‍රමසිංහ එක්කත් මේ ගැන සාකච්ඡා කළා.

මෙහෙම සාකච්ඡාවක් යටින් යන බව කෙහෙළියත් දැනගෙන ඉන්න ඇති. පහුගිය දවස් වල නයා මැරිච්ච අහිකුණ්ඨිකයා වගේ කෙහෙළිය කරබාගෙන හිටියේ ඒක ද කියලත් සැකයි...

කෙහෙළියගේ සැකය තව තවත් තහවුරු කරන සිද්ධියක් පහුගිය බදාදා හවස මහනුවරදී සිද්ධ වුණා.

ෆාමසි කරුවන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය එදා එහි පැවැත්වුනා. ඒත් සම්මේලනය පටන් ගන්නා අවස්ථාවේ දී සංගමේ සභාපති නිවේදනයක් නිකුත් කරමින් සතුට ප්‍රකාශ කළා. හිටපු සෞඛ්‍ය ඇමති ඇමැති රාජිත සේනාරත්න නැවතත් ඇමතිකමේ වැඩ භාර ගන්නා බව ඔහු කිව්වා. මුළු සභාවම ඒ කතාවට අත්පොලසන් දෙමින් සතුට පළ කරද්දි වත්මන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයා ඒ සභාවේ රැඳී සිටියා.

එදා හවස නිසැකවම ඒ කතාව ඔහු සහෝදරයාට කියන්නට ඇති.

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න