Language Switcher

V2025

ආර්ථික අර්බුදය නිසා පුංචි ජන්දය කල්දාන්න ඉල්ලීමක් !

යෝජිත පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස ඉල්ලීමක් පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුව ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට පසුගිය බදාදා මීට අදාළ හමුව සිදුව ඇත. ඊට පොදුජන පෙරමුණට සම්බන්ධ පළාත් පාලන ආයතන ප්‍රධානීන් 47 දෙනකු එක්ව තිබේ.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පවත්නා ආර්ථික තත්ත්වය යටතේ ජනතාව ඡන්දයකට මුහුණ දීමට තරම් සුදුසු වාතාවරණයක නොමැති බවය. මැතිවරණය සඳහා රජයට මෙන්ම තමන්ටත් විශාල වියදමක් දැරීම අපහසු බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඔවුන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ පවත්නා ආර්ථික තත්ත්වය ගැන ද සලකා බලා අදාළ අංශ මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් , පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එක්ව ඇති බවත් වාර්තා වෙයි .