Language Switcher

V2025

පලාලි ආරක්‍ෂක කලාපයේ ඉඩම් අයිතිකරුවන්ට මුදා හැරේ

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව අතිගරු ජනාධිපති උපදෙස් අනුව පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුල පිහිටි රාජ්‍ය නොවන ඉඩම් අක්කර 80.14 ක භූමි ප්‍රමාණයක් එම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවන් වෙත බෙදාදීම සඳහා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අද (03) දින එම ඉඩම්වලට අදාල ලිපිලේඛන භාරදෙනු ලැබීය.

පලාලි, අන්තෝනිපුරම් ප්‍රදේශයේ අද (03) දින පැවති මෙම ඉඩම් නිදහස් කිරීමේ උත්සවය අතරතුරදී පලාලි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 12.14 ක්, පලාලි අධිආරක්‍ෂිත කලාපයේ තෙලිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ පර්චස් 0.72, කන්කසන්තුරේ මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 50.59 ක් සහ මයිලඩි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 16.55 ක ප්‍රමාණයකට අදාල නීත්‍යානුකූල ලිපිලේඛන අද යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංකේතාත්මතව ප්‍රදානය කෙරිණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යපෘතියට අදාල උත්සවයේදි යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන්  වෙත එම ලිපි ලේඛන යාපනය ආඥාපතිතුමා විසින් සංකේතාත්මකව භාරදෙනු ලැබීය.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති එම අවස්ථාවට පැමිණි සැම උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

මෙම උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු. ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු. අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු. එම්.ඒ.සුමන්තිරන්, උතුරු පළාත් සභාවේ සභාපති කන්දිය සිවඥානම් යන මහත්වරු සහ උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්. එම් සමන් බන්දුලසේන මහතාද ඉඩම් හිමියන් සමගින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යාපනය දිස්ත්‍රික් ලේකම් වෙත එම ඉඩම්වල ලියකියවිලි භාරගැනීමෙන් අනතුරුව සිය කෘතඥතාවය රජය වෙනුවෙන් ආරක්‍ෂක අංශ වෙත පළකල අතර, යාපනය අර්ධද්වීපයේ සිවිල් ජනතාව සහ ආරක්‍ෂක අංශ අතර පවතින සුහදත්වය තවදුරටත් මෙමගින් ප්‍රවර්ධනය වන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, 51, 52, 55 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, යාපනය නියෝජ්‍ය පොලිස්පති, 515 වන බලසේනාවේ බලසේනාධිපති, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, රාජ්‍ය නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ ඉඩම් ප්‍රතිලාභීන් ද සහභාගි වූහ.

පසුගිය සමයේදී යාපනය අර්ධද්වීපයේ යුද්ධ හමුදාව විසින් භාවිතා කරනු ලැබූ රාජ්‍ය නොවන ඉඩම් එවකට පැවති ආරක්‍ෂක අවශ්‍යතාවයන්ට හානියක් නොවන අන්දමින් ඉඩම් හිමිකරුවන් වෙත එම ඉඩම් නිදහස්කර දෙනු ලැබීය. මෙම ඉඩම් නිදහස් කිරීම යටතේ පලාලි අධිආරක්‍ෂිත කලාපය තුළ වෙනම ක්‍රියාත්මක වූ කුඩා කඳවුරු ප්‍රධාන කඳවුරුවලට එකතු කර ආරක්‍ෂාවට හානියක් නොවන පරිද්දෙන් මෙම ඉඩම් නිදහස් කරනු ලැබිණි.