ලංකාවේ පැවති දරුණු යුදමය හා දේශපාලන මර්දන වටපිටාව නිසා රටින් පිටවී, දැනට යුරෝපයේ (ස්විට්සර්ලන්තයේ) දේශපාලන රැකවරණය ලබන හිටපු ‘හිරු’ කණ්ඩායමේ සාමාජිකයකු වන Terrel Abeysinghe ගේ භූමිකාව දෙස අපට මනෝවිශ්ලේෂණාත්මකව එබී බැලිය හැකි ය.
දේශපාලන අක්මුල් සිඳීයෑමේ ඛේදවාචකය
ජැක්විස්_ ලකාන්
ස්විස් දේශයේ අධික සීතල සහ ඇල්පස් කඳුකරයේ මනස්කාන්ත දර්ශන මධ්‍යයේ, ඔහු අද සක්‍රීය දේශපාලනය අතහැර පිටුවහලේ ජීවිතය සොයමින් සිටියි. ලංකාවේ විකල්ප දේශපාලන ඉතිහාසය තුළ විශාල බරක් සහ මතක සමුදායක් තිබුණු මිනිසුන්, මේ අයුරින් දේශපාලන අක්මුල් සිඳීයෑමේ ඛේදවාචකයකට මුහුණ දීම සැබවින් ම අපරාධයකි. පිටස්තරව බලන අයෙකුට මෙය හුදු දේශපාලන පසුබැසීමක් හෝ පිටුවහල් ජීවිතයක ස්වභාවය ලෙස පෙනුණ ද, ලැකාන් සහ ජීන් පෝල් සාත්‍රේ ගේ සිද්ධාන්තවලට අනුව මෙහි ගැඹුරු මානසික ව්‍යුහයක් සැඟවී පවතී.
තමන්ගේ 'දේශපාලන පීඩිතභාවය' සමාජය ඉදිරියේ කිරුළක් ලෙස පැලඳීම
ටෙරල් අබේසිංහ යුද්ධයේ සහ දේශපාලන මර්දනයේ සැබෑ වින්දිතයෙකු විය හැකි ය. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව, තමන් සටන් කළ භූමියෙන් සහ දේශපාලන අක්මුල්වලින් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබූ විට, පුද්ගලයා මුහුණ දෙන්නේ දැවැන්ත පැවැත්මේ හිස්තැනකට ය. බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් පසුකාලීනව තමන්ව පත් කරගන්නේ කිසිවක් කරකියා ගත නොහැකි අසරණ 'වස්තුවක' තත්ත්වයටයි. ලංකාවේ පැවති ප්‍රබු දේශපාලන ක්‍රමය, නරක පාලකයන් හෝ දුෂිත බව නිරන්තරයෙන් ම වැරදිකරුවන් කරමින්, තමන්ට සිදු වූ හෝ රටට සිදුවන අසාධාරණය ගැන නිමාවක් නැති මැසිවිලි නැගීමට හෝ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත වීමට ඔවුහු පෙළඹෙති. ලැකාන් පෙන්වා දෙන්නේ මේ දුක්ඛිත තත්ත්වය, අතීතය ගැන පසුතැවීම සහ මැසිවිල්ල පිටුපස අවිඥානිකව පවතින රහසිගත විනෝදයක් (Mode of enjoyment/Jouissance) ඇති බවයි. ස්විස් සෞන්දර්යය මැද වුව ද, තමන් ඍජුව ම දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක නොවී, ඈතක සිට දුක් වීම සහ මැසිවිලි නැඟීම හරහා තමන්ගේ 'දේශපාලන පීඩිතභාවය' සමාජය ඉදිරියේ කිරුළක් ලෙස පැලඳීමට ඔවුහු පෙළඹෙති. මෙයින් ඔවුන්ගේ ස්වරුප රාගය (Narcissism) ආරක්ෂා වන අතර, සැබෑ අවදානමක් ගෙන ක්‍රියාවට බැසීමට ඔවුන්ට අවශ්‍ය නොවේ.
බලයක් නොමැති පැරණි පාලකයකු දෙසට මැසිවිලි යොමු කිරීම
ලැකානියානු සායනයක දී මෙවැනි පුද්ගලයකු මුහුණ දිය යුතු ප්‍රධානතම පියවර වන්නේ ස්වයං-නිවැරදි කරගැනීමයි. එනම්, "රටේ ක්‍රමය හෝ මර්දනය නිසා මගේ අක්මුල් සිඳී ගියා" යන මැසිවිල්ලෙන් ඔබ්බට ගොස්, "මා මේ ඈතක සිට දුක් වෙමින්, මැසිවිලි නඟමින් හෝ දේශපාලනයෙන් පලා යමින් මේ පීඩිත භූමිකාව තුළම ස්වකැමැත්තෙන් රැඳී සිටින්නේ ඇයි?" යන සැබෑ වගකීම තමන් වෙතටම හරවා ගැනීමයි. තුවාලය දෙස බලා හූල්ලන එක හෝ ඇල්ප්ස් කඳුකරයේ සෞන්දර්යය පිටුපස සැඟවී ජීවිතය සෙවීම නතර කර, තමන් ප්‍රකාශ කරන අදහස් තුළ තමන් සිටින ස්ථාවරයේ වගකීම තමන්ම භාර ගත යුතුය. හුදෙක් අතීත මර්දනයක 'ගොදුරක් ' වීම නතර කර, තමන්ගේම සක්‍රීය දේශපාලන තීන්දුවලට එළඹෙන 'පුද්ගලයෙකු' බවට පත්වන්නේ එවිටයි. එහි දී සමහර විට පරාජයට මුහුණ දීමට සිදුවිය හැකිය. ලංකාවට නැවත පැමිණ සක්‍රිය දේශපාලන කටයුතුවල නිරත විය හැකි ය. නමුත් බලයක් නොමැති පැරණි පාලකයකු දෙසට මැසිවිලි යොමු කරනු වෙනුවට, තමන් ගේ දෑත් අපිරිසිදු කරගනිමින් හෝ සැබෑ අවදානමක් ගැනීමට ඔහු සූදානම් විය යුතුය.
දේශපාලන අරගලය හෝ ජීවිතය සෙවීම පවතින්නේ කොතැන ද...?
ජින් පෝල් සාත්_රේ
ටෙරල් අබේසිංහ බඳු මිනිසුන් බලාපොරොත්තු වන පරිපූර්ණ දේශපාලන ක්‍රමය ලංකාවේ උදා වුව ද, නැතහොත් ස්විට්සර්ලන්තයේ සුඛෝපභෝගී ජීවිතය ලැබුණ ද, මනුෂ්‍ය වර්ගයා ගේ ආශාවේ හිස්තැන පිරවීමට එයට නොහැකි ය. ලැකාන් පවසන්නේ "ආශාව යනු පැවැත්මේ ඇති නොමැතිවීම නිරූපණය කරන අනන්ත වූ ආදේශන වැලක්" කියා ය. දේශපාලන අරගලය හෝ ජීවිතය සෙවීම පවතින්නේ ම ඒ "අඩුව" පවතින හිස්තැන තුළ යි.
සාත්‍රේ පවසන පරිදි මිනිස් විඥානය යනු ස්ථිර සාරයක් නැති, කලින් තීරණය කළ නොහැකි "Being-for-itself" (තමන් වෙනුවෙන් පවතින පැවැත්මක්) ය. අපට කිසිදු දේශපාලන ලේබලයකින්, අතීත අනන්‍යතාවයකින් හෝ බාහිර පරිසරයකින් (ඇල්ප්ස් කඳුකරයෙන් වුවද) අපේ ජීවිතය සදහට ම අර්ථ දැක්විය නොහැකි ය. දේශපාලන අක්මුල් සිඳීයෑම සැබවින් ම ඛේදවාචකයක් සහ අපරාධයකි. නමුත් මනෝවිශ්ලේෂණයේ මූලිකම අරමුණ වන්නේ කෙනෙකුව අතීත මතකයන් හෝ මැසිවිලි තුළ සිරකර තැබීම නොවෙයි. ඒ වෙනුවට, තමන් ජීවත්වන වටපිටාවේ ඇති අඩුපාඩු, පිටුවහල් බව සහ තමන් සතු නොහැකියාවන් දරා ගනිමින්ම, තමන්ගේ අතීත තුවාලවලින් මිදී, තමන්ගේ ආශා වෙනුවෙන් බිය නැතිව ඉදිරියට යන සක්‍රීය පුද්ගලයෙකු බවට ඔහුව පත් කිරීමයි.

Mandis Murrukkuwadura
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
