අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට IMF වෙතින් අඛණ්ඩ සහයක්......

අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට IMF වෙතින් අඛණ්ඩ  සහයක්......

උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා  පවසයි.

ඇය මේ බව පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූලය අරමුදල සහ ලෝක බැංකුව එක්ව සංවිධානය කරන ස්ප්‍රිං සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග ඊයේ සාකච්ඡාවකට එක්වෙමිනි.

හමුව පිළිබඳව සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා  පවසන්නේ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ  ඇතුළු ශ්‍රී ලංකාවේ දූත පිරිස සමග සාර්ථක සාකච්ඡාවක් සිදුකළ බවයි.

ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා සිය වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජෝර්ජියේවා මහත්මිය සිය ට්විටර් සටහනෙන් පෙන්වා දෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මෙම රැස්වීමේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ අභියෝග මධ්‍යයේ තිරසාර සහ සාමුහික වර්ධනයක් සුරක්ෂිත කිරීම බවයි.

“ජාත්‍යන්තර ප්‍රජාවට සහ බහුපාර්ශ්වික ආයතනවලට තිරසාර සහ සාමුහික වර්ධනයක් ලබා ගැනීම සඳහා නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ප්‍රතිපත්තිමය ප්‍රයත්නයන්ට ඵලදායී ලෙස සහාය විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමට මෙම රැස්වීම වේදිකාවක් සැපයීය. මෙහි ප්‍රධාන කොටසක් වන්නේ ද්‍රවශීලතා සහය මෙන්ම නිල සහ පෞද්ගලික මූලාශ්‍රවලින් ආසන්න හා මධ්‍ය කාලීන මූල්‍යකරණයට ප්‍රවේශ වීමයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී , ආර්ථික අර්බුදයේදී මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා කෘතඥතාව පළ කර ඇති අතර, IMF වැඩසටහන මෙරට තුළ ම සුරක්ෂිත කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන යන අය සහභාගි වූහ.

ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ Anne Bjerde මහත්මිය සමඟ සාකච්ඡාවක නිරත වූ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, ආර්ථික ප්‍රකෘතියට සහාය වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ඇත. මෙම සාකච්ඡාවේදී කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින්, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ කටයුතු සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ලෝක බැංකුවේ සහාය සහතික කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න