ජූලි සිට සුබසාධක ප්‍රතිලාභ සෘජුවම බැංකු ගිණුමට !

ජූලි සිට සුබසාධක ප්‍රතිලාභ සෘජුවම බැංකු ගිණුමට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
එසේම බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ද බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පෙන්වා දුන්නේය.

ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිෂ්පාදනය කරන '101 කතා' වැඩසටහනට එක්වෙමිනි.

පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සමාජ ආරක්ෂක දැලෙහි එක් පියවරක් ලෙස 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ගේ අධීක්ෂණය යටතේ මුදල් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාවට නංවා ඇත.

‘අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සමාජයේ පහළ ආදායම් ලබන 40% ක පිරිසට කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍ය අධාර ලබාදීමට නියමිත අතර අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුලක් සදහා මාසිකව රුපියල් 15,000 ක් රජය මගින් ලබා දෙයි.

'101 කතා' වැඩසටහනේ දී යොමු කළ ප්‍රශ්නයකට සුබසාධක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, ‘අස්වැසුම' ප්‍රතිලාභීන් තෝරා ගැනීම මධ්‍යම දත්ත පද්ධතියක් මගින් සිදුවන නිසා දේශපාලන හිතවත්කම් මත ආධාර ලබා ගැනීම සඳහා පුද්ගලයන් ඇතුළත් කළ නොහැකි බවය.

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ක්‍රමය ජුලි මස සිට ක්‍රියාත්මක වීමත් සමග මෙතෙක් සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ලැබු ඇතැම් අයට එම ප්‍රතිලාභ අහිමි විමේ ඉඩක් ඇති බවත්, ස්ථීර ආදායමක් තිබීම, “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ සදහා අයදුම් නොකිරීම වැනි කරුණු ඊට හේතු විය හැකි බවත් ඔහු පැවසීය.

එවන් අයෙකු සිටි නම් ප්‍රතිලාභ ලැබිමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කල විගස ඒ බව අභියාචනයක් මගින් ඉදිරිපත් කිරිමට හෝ ජුලි මාසයෙන් පසුව දෙවැනි අදියර මගින් අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවත් පෙන්වා දුන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ජිවත්වීම සදහා මූල්‍ය අධාර අවශ්‍ය ඇතමුන් මේ වන විටත් ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහන්වලට ඇතුලත්ව නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා. දැනට සමෘද්ධි වැනි ප්‍රතිලාභ ලබන අය අතර දේශපාලන බලපෑම් මත ඇතුලත් කළ පිරිස් සිටින බවටත් චෝදනා එල්ල වෙනවා. මේ චෝදනාවලට විසදුම් ලබා දෙමින් සමාජය විසින් රැක බලා ගත යුතු අයට අධාර ලබා දිමේ අරමුණින් තමයි මේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ආරම්භ කළේ. මේ සදහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ගිය අගෝස්තු මස සිට අයැදුම්පත් කැඳවූවා. එහිදී ලක්ෂ 37 කට වැඩි පිරිසක් අයැදුම්පත් යොමු කර තිබෙනවා. ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් අස්වැසුම මොබයිල් ඇප් එක ඔස්සේ තවදුරටත් ඔවුන්ගේ අදායම් - වියදම් ගැන දත්ත ලබා ගෙන තිබෙනවා.

මේ අනුව එම දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පත් කළ විශේෂ කමිටුවක් තුළින් තවදුරටත් සත්‍යාපනය කරනවා. අනතුරුව “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ලැබිමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව සෑම ග්‍රාම නිලධාරි කාර්යාලයකම වගේම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ (https://www.wbb.gov.lk/ ) ප්‍රදර්ශනය කරනවා. එහිදී අයදුම් කල කෙනෙකුගේ නම නොමැති නම් හෝ ආධාර ලැබීමට නුසුදුසු අයෙකු සිටිනවා නම් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රතිලාභ ලැබිය යුතු කිසිවකු අත්නොහැරෙන ආකාරයට තමයි මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. එය තමයි මෙහි විශේෂත්වය. ඒ වගේම පළමු වතාවේ අයැදුම්පත් ඉදිරිපත් කරන්න නොහැකි වුණා නම් ජුලි මාසයෙන් පසුව දෙවැනි අදියර මගින් අයැදුම්පත් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. ඒ බව අපි පුවත්පත් හා මාධ්‍ය මගින් දැනුම්වත් කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න